Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

බොරු ගොන්නක් සමග ගෙතූ කතාවක් බවට චෝදනා කරමින් චැනල් 4 වීඩියෝවට ගෝඨාභයගෙන් පිළිතුරු

පාස්කු ඉරුදින සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 වීඩියෝව හරහා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (සැප්තැම්බර් 7) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Gotabhya Rajapaksha_ President of Sri Lanka

Gotabhya Rajapaksha: Former President of Sri Lanka Source: Facebook / Facebook/ Gotabhya Rajapaksha

වසර 2019 අප්‍රේල් 21වැනි දින, පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් සිදුකළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට නිකුත් කරනු ලැබීය.

කතෝලික දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය.

"දේශපාලන බලය ලබාගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරමින් පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?" යන ප්‍රශ්නය මතුකරමින් ඉදිරිපත් කළ මෙම වීඩියෝව මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි අවධානයක් දිනා ගෙන තිබේ.

ජිවිත ආරක්ෂාව පතා දැනට ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත.

මීට අමතරව ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජැන්ස්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කෝංගහගේ සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙන්ම නම් හෙළිදරව් නොකරන රජයේ නිලධාරියෙකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ.

එකල හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුර බැහැර ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් අදාළ රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා පැවසු බවද අසාද් මවුලානා එහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම අතර සෘජු සම්බන්ධයක් ඇති බව whistleblowers හෙවත් මේ සිදුවීම ගැන තොරතුරු හෙළිකරන පුද්ගලයින් වෙන වෙනම විස්තර කරන බවත්,ශ්‍රී ලංකාව තුළ බියක් මෙන්ම නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කර වසර 10ක් පුරා රට පාලනය කොට වසර කිහිපයකට පෙර බලයෙන් පහ කරන ලද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම සඳහා සැලැස්මක් සකස් කොට ඇති බවත් චැනල් 4 වීඩියෝව වැඩි දුරටත් පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 වීඩියෝව හරහා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (සැප්තැම්බර් 7) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේජර් ජෙනරාල් සලේ තම අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා දී ඇති නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර,සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ පවසා ඇත.

තමන්ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, මේජර් ජෙනරාල් සලේ මෙන්ම තමන්ද විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇති බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

“චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන්වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කළෙමි.” යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ පවසා තිබේ.

Gota 01.PNG
Credit: Supplied
Gota 02.PNG
Gota 03.PNG
Gota 04.PNG

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (සැප්තැම්බර් 7) නිකුත් කළ විශේෂ නිවේදනය මෙතනින්.


4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now