Key Points
- ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් රජයේ සැලකිය යුතු පිරිවැය සීමාව සඳහා ඇති යාන්ත්‍රණය සමාලෝචනය කිරීමට එකඟ වී ඇත.
- සංක්‍රමණිකයන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට යම්කිසි සෞඛ්‍ය තත්වයක් හෝ ආබාධයක් ඇත්නම් ඔවුන් පිටුවහල් කිරීමට පවතින යන්ත්‍රණය මගින් රජයට ඉඩ දෙයි.
- ආන්ඩුවේ පැසිෆික් වීසා යෝජනා ක්‍රමයට සහය දක්වන ග්‍රීන්ස් පක්ෂයේ ඉල්ලීම පරිදි මෙම යන්ත්‍රණය පිළිබඳ සමාලෝචනයක් සිදු කෙරේ.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පවුලකට ආබාධ සහිත දරුවෙකු උපත ලැබුවහොත් ඔවුන් රටින් පිටුවහල් කිරීමට රජයට හැකිවීම නැවැත්වීමට ග්‍රීන්ස් පක්ෂය, ආගමන අමාත්‍ය ඇන්ඩෘ ගයිල්ස් සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසු මේ වන විට එහි ප්‍රගතියක් ලබා තිබේ.
ඒ අනුව, ආබාධිත සහිත පුද්ගලයින් වෙනස් කොට නොසැලකීම සඳහා වන පනතින් පරිභාහිරව ගොස් යම් කිසි සෞඛ්‍ය තත්ත්වයක් හෝ ආබාධයක් සහිත පුද්ගලයින්ගේ තාවකාලික වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හෝ එවැනි දරුවෙකු උපත ලැබූ තාවකාලික වීසා ලාභී පවුල් වලට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස නියෝග කිරීමට රජයට බලය ලබා දෙන යන්ත්‍රණය සමාලෝචනය කිරීමට ගයිල්ස් මහතා එකඟ වී තිබේ.
සංක්‍රමණික පවුල් වලට අයත් පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ දරුවන්ට යම් කිසි සෞඛ්‍ය තත්වයක් හෝ ආබාධයක් ඇත්නම් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හෝ සහාය වීමට "ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සැලකිය යුතු පිරිවැයක්" වැය වන බව අදහස් කෙරෙන Significant cost threshold හෙවත් සැලකිය යුතු පිරිවැය සීමාව මගින් එවැනි සංක්‍රමණික පවුල් රටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට ඉඩ ලබා දේ.
මෙවැනි සෞඛ්‍ය තත්ත්වයකට හෝ ආබාධිත තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට හෝ සහාය වීමට ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට දශකයක් පුරා ඩොලර් 51,000ක් හෝ වාර්ෂිකව ඩොලර් 5,100ක් වැය වන්නේ නම් එම පිරිවැය සීමාව සපුරා ඇතැයි සැලකේ.
මෙම පවතින යන්ත්‍රණය පිළිබඳ සමාලෝචනය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් මෙහෙයවනු ලබයි.
ග්‍රීන්ස් පක්ෂය පැසිෆික් වීසා යෝජනා ක්‍රමයට සහාය දීමට එකඟ වේ.
මෙම යාන්ත‍්‍රණය පිලිබඳ සමාලෝචනයක් සිදු කිරීමට ගයිල්ස් මහතා එකඟ වී තිබෙන්නේ සෙනෙට් සභාවේදී ආන්ඩුවේ පැසිෆික් වීසා යෝජනා ක‍්‍රම ව්‍යවස්ථාවට ග්‍රීන්ස් පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව පල කිරීම වෙනුවෙනි.
ඔස්ට්‍රේලියානු රජයේ විපක්ෂය සහය දැක්වීම ප්‍රතික්ෂේප කළ, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ මෙම නීති සම්පාදනයට කොළ එළියක් දැල්වීමෙන් පසු දහස් සංඛ්‍යාත පැසිෆික් දූපත් වාසීන්ට ඔස්ට්‍රේලියානු ජීවිතයකට මාවතක් හිමි වනු ඇත.
සංක්‍රමණ ක්‍රමය සාධාරණ සහ සියල්ලන් අන්තර්ගත වන ක්‍රමයක් විය යුත බව ග්‍රීන්ස් පක්ෂයේ ආගමන ප්‍රකාශක නික් මැකිම් පවසයි.
සංක්‍රමණිකයන් කොහේ සිට පැමිණියාද, ඔවුන්ගේ ආබාධිත තත්වය කුමක්ද යන්න නොසලකා සෑම කෙනෙකුගේම අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් දිගටම පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
"සැලකිය යුතු පිරිවැය සීමාව භාවිතා කිරීමෙන් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගේ ඔස්ට්‍රේලියාවේ උපදින කිසිදු දරුවෙකු පිටුවහල් නොකරන බව සහතික කිරීම මගින් රජය මෙම සමාලෝචනයට ප්‍රතිචාර දැක්විය යුතුය."
'ඉතා ඉහළ හැකියාව ඇති' ප්‍රතිපත්තිය
මෙම ප්‍රතිපත්තිය "ඉතා ඉහළ හැකියාවක් ඇති" අය පමණක් වෙනුවෙන් වන බවත් ග්‍රීන්ස් පක්ෂයට එම සංකල්පය ඉවත් කරනු දැකීමට අවශ්‍ය බවත් පසු ගිය අගෝස්තු මාසයේදී මැකිම් මහතා SBS ප්‍රවෘත්ති වෙත පැවසුවේය.
"මෙවැනි නිර්ලජ්ජිත වෙනස් කොට සැලකීම් ඉතිහාසයේ කුණු කූඩයට අයත් වේ" යනුවෙන් මැකිම් වැඩිදුරටත් පැවසීය.
"සමහර අවස්ථාවල ඔස්ට්‍රේලියාවේ උපත ලබන දරුවෙකු සිටින පවුලක්, එම දරුවා ආබාධිත නිසා පිටුවහල් කිරීමේ අවදානමකට ලක්වීම අවිඥානිකයි. අපි එය වෙනස් කළ යුතුයි."

මෙම ප්‍රතිපත්ති මගින් "ප්‍රජා අපේක්ෂාවන් සපුරාලන්නේ නැත" යන නිර්ණායකය ගයිල්ස් විසින් මීට පෙර පිළිගෙන ඇති අතර, කම්කරු පක්ෂය ඒ සඳහා විසඳුමක් සොයමින් සිටී.
සෑම වසරකම වීසා 3,000ක් වෙන් කිරීමේ යෝජනා ක්‍රමය
ඔස්ට්‍රේලියානු රජයේ පැසිෆික් වීසා යෝජනා ක්‍රමය යටතේ පැසිෆික් කලාපය තුළ සංස්කෘතික, ව්‍යාපාරික සහ අධ්‍යාපනික හුවමාරුව ඉහළ නංවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය Penny Wong පවසයි.
මෙම යෝජනා ක්‍රමය මගින් සෑම වසරකම රටවල් හරහා සිදු කරන ඡන්ද ක්‍රියාවලියක් මගින් පැසිෆික් දූපත් වැසියන්ට වීසා 3,000ක් වෙන් කරනු ඇත. තෝරාගත් අයට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිය.
වීසා බලපත්‍රයක් ලබා දීමට , අයදුම්කරුවන්ට රැකියා දීමනාවක් තිබීම , සෞඛ්‍ය නිර්ණායක සපුරාලීම සහ යහපත් චරිතයක් තිබීම ඇතුළු සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය වනු ඇත.

මෙය ඔස්ට්‍රේලියාවේ පැසිෆික් ඩයස්පෝරාව වර්ධනය කරන අතර පැසිෆික් පවුල හරහා අපගේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව පෙනී වොන්ග් පාර්ලිමේන්තුවට පැවසුවාය.
"මෙම වීසා බලපත්‍රය මගින් අපගේ සමීපතම අසල්වැසියන්ට ඔස්ට්‍රේලියාව සිය නිවහන ලෙස ඇමතීමට හැකි බව සහතික කරනු ඇත."
විපක්ෂය විසින් මෙම යෝජනා ක්‍රමයට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් මෙම ක්‍රියාවලිය දැනටමත් නවසීලන්තයේ භාවිතා කරන බවත් එමගින් වීසා සැකසුම් කාලය සහ පිරිවැය අඩු කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දේ.

