ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති 20-20 තරගයෙන් ජය ගනිමින් මෙවර 20-20 ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිති කරුවන් අසාර්ථක වෙද්දී ලකුණු නොදැවී ලකුණු 73ක් වාර්තා කරමින් නායක ඇන්ජලෝ මැතිව්ස් අගනා ඉනිමක් ක්‍රීඩා කලද, ශ්‍රී ලංකාවට මෙම පරාජයත් සමගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමේ වාරය එංගලන්තයට ලබා දුන් අතර එහිදී ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 171 වාර්තා කරන්නට සමත් විය. එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර 5 තුලදී එංගලන්ත පිතිකරුවන් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අසීරු වූ අතර, එහිදී ලකුණු 72ක් වාර්තා කරන්නට එංගලන්ත පිති කරුවන් සමත් විය. එංගලන්ත කණ්ඩායමේ Jos Buttler නොදැවී ලකුණු 66ක් වාර්තා කල අතර එය ඔහුගේ 20-20 ජාත්‍යන්තර තරග දිවියේ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමණය ලෙසත් වාර්තා අතරට එක විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 26කට කඩුලු 2ක් දවාගන්නට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4ම පළමු පන්දුවාර තුන තුලදී දැවීයාම ශ්‍රී ලංකා පරාජයට ප්‍රධාන හේතුව බවට පත් විය. තරගයේ දෙවැනි පන්දුවාරයේ 6වැනි පන්දුව නිමාවට පත් වන විට ශ්‍රී ලංකා ලකුණු 15කට කඩුලු 4ක් දැවී ගොස් ඉතා අසීරු අඩියකට ඇද වැටි සිටි අතර, ඩිල්ෂාන් , චන්දිමාල්, මිලින්ද සිරිවර්දන සහ තිරිමාන්න යන පිති කරුවන් අසාර්ථක වීම මෙහිදී කැපී පෙනෙන කරනයක් බවට පත් විය. 20-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් පළමු පන්දුවාර 3 තුලදී දැවී ගිය ප්‍රථම වතාව මෙය බව සදහන්.
අනතුරුව පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සබදතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට යම් පණක් ලබා දෙන්නට නායක ඇන්ජලෝ මැතිව්ස් සහ චාමර කපුගෙදර සමත් විය. මෙය 20-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති හොඳම සබඳතාවය බවද සදහන්.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල ශ්‍රී ලංකා නායක මැතිව්ස් නොදැවී ලකුණු 73ක් වාර්තා කලේ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින්. මැතිව්ස් වාර්තා කල මෙම ලකුණු 73 ඔහුගේ 20-20 ජාත්‍යන්තර තරඟ දිවියේ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසත් වාර්තා අතරට එක් වී තිබේ.
මෙම තරගයේ පන්දුවට පහර දෙන අතරතුර මැතිව්ස්ගේ පාදය අබාධයකට ලක් වූ බවත් ඒ නිසා මීළඟ තරගයට ඔහුගේ සහභාගිත්වය අස්ථිර බවත් තරගයෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේය.
තරගයේ 19 වන පන්දුවාරය යැවූ ක්‍රිස් ජෝර්ඩන් ගෙන් සහ අවසන් පන්දු වරයා යැවූ බෙන් ස්ටෝක්ස් ගෙන් එල්ල වූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා පිති කරුවන්ට ජයග්‍රාහී ඉලක්කය වෙත ලගා වීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාවට මෙවර 20-20 ලෝක කුසලානයේ බලාපොරොත්තු ඒ සමගින් සුන් විය.
තමන් තරගාවලිය තුල ඇෆ්ගනිස්ථාන තරගය හැරුණු කොට අනෙක් තරග පරාජය පත් වුවත්, පරාජයට පත් තරග වලදී අනෙකුත් කණ්ඩායම් වලට පහසුවෙන් එම තරඟ ජය ගැනීමට ඉඩ නොදුන් බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
"අපි මෙම තරගාවලියේදී ක්‍රීඩා කල විලාශය අනුව අපි semi finals යන්න සුදුසු නැහැ" මැතිව්ස් වැඩි දුරටත් මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේය.
අවසන් පුර්ව වටයට
ශ්‍රී ලංකාව තරග වැදුණු පළමු කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය මේ වනවිට 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය සුදුසුකම් ලබා ඇති අතර දෙවන කාණ්ඩයෙන් මේ වනවිට සුදුසකම් ලබා ඇත්තේ නවසිලන්ත කණ්ඩායම පමණි. එම කාණ්ඩයෙන් අවසන් පුර්ව වටය සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම් කවුරුන්ද යන්න අද (27දා) පැවැත්වෙන ඉන්දීය - ඕස්ට්‍රේලියා තරගයේ ප්‍රථිපලය අනුව තීරණය වනු ඇති.

