Exclusive

PhD එක නිසා ඔස්ට්‍රේලියාවේ බිඳිය නොහැකි වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකේය නිවුන් සොයුරියන් දෙදෙනාගේ කතාව

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වසර 168ක ඉතිහාසය තුළ එකවර ආචාර්ය උපාධි ලබා ගත් පළමු නිවුන් සොහොයුරියන් බවට පත් වීමට ශ්‍රී ලංකාවේ තේජානි ගුණරත්න සහ නදීෂා ගුණරත්න සමත් වුණා.

How the two Sri Lankan twin sisters set an unbreakable record in Australia due to their PhD

Identical twins Thejani and Nadeesha Gunaratne received their doctorates on Saturday 17 December 2022 in Melbourne Credit: Supplied: Thejani Gunaratne

ලෝකයේ ඇතැම් වාර්තා බිඳ දමන්නට හැකියාව ඇති අතරේ ඇතැම් වාර්තා බිඳ දැමීමට නොහැකියි.

එවැනි කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි, ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියෝ දෙදෙනෙකු 2022 දෙසැම්බර් මාසයේදී සමත් වුණා.
ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් වන මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168ක ඉතිහාසය තුළ එකවර ආචාර්ය උපාධි ලබා ගත් පළමු නිවුන් සොහොයුරියන් බවට ඔවුන් දෙදෙනා පත් වීම එම බිඳ දැමිය නොහැකි වාර්තාවයි.

තේජානි ගුණරත්න සහ නදීෂා ගුණරත්න නමැති ශ්‍රී ලාංකික යුවතියන් දෙදෙනා මෙම හපන්කම දැක්වූ නිවුන් සොහොයුරියන් දෙදෙනායි.

මෙල්බර්න් සරසවියේ වසර 168 ක ඉතිහාසය අලුත් කිරීම

"මෙවැනි වාර්තාවක් තබන්නට යනවා කියා හෝ තැබීමට පුළුවන් කියා ඔබ දෙදෙනා කලින් දැන සිටියාද?" SBS සිංහල ගුවන් විදුලියේ අපේ පළමු ප්‍රශ්නය වුණා.

"ඇත්තම කියනවනම්, අපි දැනගෙන හිටියේ නැහැ. අපිට මෙල්බර්න් සරසවියෙන් ඊමේල් පණිවිඩයක් ආවා. වසර 168 ක මෙල්බර්න් විශ්ව විද්‍යාල ඉතිහාසයේ එකටම ආචාර්ය උපාධි නිබන්ධය අවසන් කර යොමු කරලා, ආචාර්ය උපාධිය සම්පුර්ණ කරපු පළවෙනි නිවුන්නු අපි දෙන්නා කියල ඒකෙ සඳහන් කරලා තිබ්බා." නිවුන් සොයුරියන් දෙදෙනාගෙන් වැඩිමලා වන තේජානි ගුණරත්න අපේ ප්‍රශ්නයට ඒ විදියට පිළිතුරු දුන්නා.

මේ වාර්තාවත් සමග ශ්‍රී ලංකාව යන නාමයත් ඔස්ට්‍රේලියාව තුළ ඉහළට එසවීම පිළිබඳ තමන් දෙදෙනා නිහතමානීව ආඩම්බර වන බවත් තේජානි අපට පැවසුවා.

මොවුන්ගේ ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවය මුලින් සැලසුම් කර තිබුණේ 2020 මාර්තු මාසයේදී වන නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය ප්‍රමාද වූ බව මෙල්බර්න් සරසවිය ප්‍රකාශ කළා.

Thejani & Nadeesha with their Mother Mrs. Manel Gunaratne.
Thejani & Nadeesha with their Mother Mrs. Manel Gunaratne. Credit: Supplied: Thejani Gunaratne

ලංකාවේ සිට මෙල්බර්න් සරසවියට පැමිණි ගමන

"පළමු වසරේ සිට 13 වසර දක්වා අපි දෙන්නම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. උසස් පෙළ සමත්වෙලා අපි දෙන්නම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය උපාධිය හැදෑරීමට සුදුසුකම් ලැබුවා. ඒ උපාධිය අවුරුදු 4 ක විශේෂ උපාධියක්. පළමු පන්තියේ ගෞරව උපාධියක් විදියට අපි එය සම්පුර්ණ කළා. අපේ GPA එක 4 න් 3.94. මේ ලකුණු ඉතා ඉහළ මට්ටමක තිබ්බ නිසා අපේ අම්මා අපිට කිව්වා ආචාර්ය උපාධියක් කරන්න විදේශ ශිෂ්‍යත්වයකට අයදුම් කරන්න කියල." මෙල්බර්න් එන්න පාර කැපුණු හැටි නදීෂා ගුණරත්න SBS සිංහල ගුවන් විදුලියට හෙළිදරව් කළේ ඒ අයුරින්.

"ආචාර්ය උපාධිය කරන්න ඔස්ට්‍රේලියාව තෝරාගත්තේ ඇයි" කියන ප්‍රශ්නේ ඒ සමගම අපි තේජානිගෙන් ඇහුවා.

ඇය අපට මේ විදියේ පිළිතුරක් ලබා දුන්නා.

" ඔස්ට්‍රේලියාවට ඇවිත් වැඩිදුර අධ්‍යාපනය ලබන්න ලොකු ආශාවක් අපිට තිබුනා. ඉගෙන ගන්න, ජීවත්වෙන්න හොඳ රටක් විදියට තමයි ඔස්ට්‍රේලියාව අපි දැක්කේ. එතකොට අපේ වැඩිම අක්කත් ඔස්ට්‍රේලියාවේ තමයි හිටියේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අතරින් මෙල්බර්න් විශ්ව විද්‍යාලයට තමයි ඇතුළු වෙන්න කැමැත්තෙන් හිටියේ. මොකද ඒක තමයි ඔස්ට්‍රේලියාවේ අංක එකේ විශ්ව විද්‍යාලය. ඉතිං අපිව අධීක්ෂණය කරන්න කවුරුහරි කැමැත්තෙන් ඉන්නවද කියල දැනගන්න අපි ඊමේල් පණිවිඩ විවිධ ආචාර්ය උපාධි අධීක්ෂකවරුන්ට ලිව්වා. එතනදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Frank Dunshea අපි දෙන්නවම අධීක්ෂණය කරන්න කැමතියි කියල අපිට පිළිතුරු එවලා තිබ්බා. එතනින් පසුව ආචාර්ය උපාධිය හදාරන්න අපි මෙල්බර්න් ආවා."

————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ආචාර්ය උපාධි සහ ඒවායේ දායකත්වය

නදීෂා ගුණරත්න

"Implementation of non-invasive biometrics to identify effects of chocolate packaging towards consumer emotional and sensory responses හෙවත් පාරිභෝගික සිතුවිලි සහ සංවේදී ප්‍රතිචාර කෙරෙහි චොකලට් ඇසුරුම්වල බලපෑම හඳුනා ගැනීම සඳහා ආක්‍රමණශීලී නොවන ජෛවමිතික ක්‍රියාත්මක කිරීම" නදීෂා ගේ ආචාර්ය උපාධියේ මාතෘකාව වුණා.

"මේකෙදී මම ගොඩක් පර්යේෂණ කළේ ආහාර ඇසුරුම් පිළිබඳ. ආහාරයක් පාරිභෝගිකයෙකු මිල ගැනීමට එහි ඇසුරුම කොපමණ බලපෑමක් කරනවාද යන්න ගැන තමයි එහිදී අවධානය යොමු කලේ. මේක සරලයි වගේ පෙනුනට අද ලෝකයේ කිසිම සමාගමකට තමන්ගේ භාණ්ඩ වෙළෙඳපොළේ සාර්ථක කරගන්න බැහැ, ඇසුරුම්කරණය ගැන හිතන්නේ නැත්නම්," යනුවෙන් නදීෂා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.

How the two Sri Lankan twin sisters set an unbreakable record in Australia due to their PhD
Credit: Supplied: Thejani Gunaratne

තේජානි ගුණරත්න

"Development and implementation of novel sensory evaluation procedures of consumer acceptability towards chocolate based on emotions and biometric responses හෙවත් හැඟීම් සහ ජෛවමිතික ප්‍රතිචාර මත පදනම්ව චොක්ලට් සඳහා පාරිභෝගික පිළිගැනීමේ නව සංවේදී ඇගයීම් ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම" තේජානි ගේ ආචාර්ය උපාධියේ මාතෘකාව වුණා.

ආහාරයක් විදියට කොපමණ දුරකට පාරිභෝගිකයා ඒ නිෂ්පාදන පිළිගනීවිද යන්න මනින කඩදාසිවල සටහන් කරපු ප්‍රශ්නාවලියකට පිළිතුරු දීම වැනි සාම්ප්‍රදායික පැරණි ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් සොයා ගැනීම තමයි තේජානි මෙහිදී කිරීමට උතසහ ගෙන ඇත්තේ.

එනිසා මිනිසුන්ගේ හැඟීම් සහ මුහුණේ ඉරියව්, හදවත ගැහෙන වේගය, සමේ උෂ්ණත්වය වෙනස්වීම වැනි ජෛවමිතික ප්‍රතිචාර හරහා යම් ආහාරයකට පාරිභෝගිකයින්ගේ කැමැත්ත අකමැත්ත සොයාගැනීමක් තමයි මෙහිදී තේජානි සිදුකර තිබෙන්නේ.

"ප්‍රශ්නාවලියක් දීලා ඒවාට උත්තර ලබාගන්නා විට බොහෝ වෙලාවට පක්ෂපාතී උත්තර තමයි ලැබෙන්නේ, නමුත් හැඟීම් කියන්නේ නිරායාසයෙන් එන දෙයක්. ඒවා මැනීමෙන් බොහෝ දුරට අපිට නිවැරදි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්." යනුවෙන් තේජානි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.

මේවා ඔස්ට්‍රේලියාවේ වගේම ලෝකයේ අනෙකුත් රටවලට ද භාවිතා කරලා අත්හදා බැලූ බව ඇය ප්‍රකාශ කළා.

දැනට නිරතවී සිටින වෘත්තීන්

නදීෂා මේ වන විට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිවී සිටිනවා.

Amway කියන ගෝලීය සමාගමේ ඇමෙරිකාවේ පිහිටි මුලස්ථානයේ පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙස තමයි නදීෂා රැකියාව කරන්නේ.

සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිෂ්පාදන සඳහා Sensory science හෙවත් සංවේදී විද්‍යාව වැදගත් වෙන්නේ කොහොමද නිෂ්පාදන සඳහා එය යොදාගන්නේ කොහොමද කියල ඇය පර්යේෂණ කරමින් සිටිනවා.

තේජානි මේ වන විට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Commonwealth Scientific and Industrial Research Organisation හෙවත් CSIRO ආයතනයේ සංවේදක සහ පාරිභෝගික විද්‍යා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණාත්මක විද්‍යාඥයෙක් ලෙස වෘත්තීය කරමින් සිටිනවා.

"ඔස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි ලෝකයේ විවිධ රටවල විවිධ ආහාර පානවල පාරිභෝගික සංවේදීතාවය එහිදී අපි මනිනු ලබනවා, ඒවා ගැන පර්යේෂණය කරනවා." යනුවෙන් තේජානි ඇයගේ වෘත්තීය භූමිකාව ගැන අපිට විස්තර කළා.
Thejani & Nadeesha with their husbands.
Thejani & Nadeesha with their husbands.

ජීවිතේ ජයගන්න පවුලෙන් ලැබුණු සහය විශාලයි

මේ සියලු ජයග්‍රහණ ලබන්න තමන්ගේ පවුලෙන් ලැබුණු සහයෝගය ඇති විශාල බව තේජානි සහ නදීෂා දෙපළම ප්‍රකාශ කළා.

"අපි දෙන්නට අමතරව අපිට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකු ඉන්නවා. ලොකු අක්කා චතුරිකා, දෙවැනි අක්කා ගිහනි. අපේ අම්මා, මානෙල් ගුණරත්න. වසර 40 කට ආසන්න කාලයක් ගණිතාචාර්යවරියක් ලෙස කටයුතු කළා. අපේ තාත්තා රියෙන්සි ගුණරත්න. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්. වසර 11 කට පෙර තාත්තා අපෙන් සමුගත්තා. එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ තමයි තාත්තා උපාධිය හැදෑරුවේ. මහරගම තමයි අපේ ගෙවල්." පුද්ගලික විස්තර ගැන අපි අහපු ප්‍රශ්නෙට නදීෂා අපිට ඒ අයුරින් පිළිතුරු දුන්නා.

පාසල් අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලත් යෙදෙන්න තමන්ගේ මව තමන් සියලු දෙනාවම යොමු කළ බවද ඇය සඳහන් කළා.

ආචාර්ය උපාධිය අවසන් කරලා, තේජානි සහ නදීෂා විවාහ දිවියට පිවිසියා.

තමන් දෙදෙනාගේ සැමියන්ගෙන්ද තමන්ගේ වෘත්තීය ජීවිතයට විශාල පිටිවහලක් ලැබෙන බව තේජානි අපිට පැවසුවා.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
PhD එක නිසා ඔස්ට්‍රේලියාවේ බිඳිය නොහැකි වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකේය නිවුන් සොයුරියන් දෙදෙනාගේ කතාව | SBS Sinhala