
This article is more than 4 years old
Exclusive
ඉහළ වැටුප් ලබන ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයෙකු වීමේ ප්‍රධාන මාර්ග සරලව මෙන්න (SBS සිංහල/ විමර්ශන)
Key Points
- ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථර කිහිපයක් ඇති අතර ඒවා වෙන් කෙරෙන්නේ බොහෝ විට හෙද සේවයට අදාළ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මතය.
- ඔස්ට්‍රේලියාවේ බහුල වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇත්තේ Registered Nurse ලාටය.
- ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන හෙද වෘත්තිකයින් ලෙස Anesthetic Nurse හැඳින්විය හැකිය.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළේ මේ වන විට පුළුල් පරාසයක රැකියා ක්ෂේත්‍රවල පුරප්පාඩු රාශියක් බිහිවී තිබේ.
මේ හේතුවෙන් ඒ ඒ ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති සහ අධ්‍යාපනික සුදුසුකම් හා දැනුම ඇති පුද්ගලයින්ට මේ කාලයේදී ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සොයා ගැනීම තරමක් පහසුවී ඇත.
———————————————————————-
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
———————————————————————-
මෙම රැකියා ක්ෂේත්‍ර අතරින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තවමත් පවතින බව වාර්තා වේ.
එහිදී විශේෂයෙන්ම හෙද වෘත්තිකයින් හට විශාල අවස්ථාවක් ලැබී තිබේ.
ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයෙකු වන්නේ කෙසේද සහ හෙද ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ඛාණ්ඩ මොනවාද, එමෙන්ම ඒවායේ වැටුප් පැකේජයන් මොනවාද කියා දැන් අපි විමසා බලමු.

ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථර
ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථර කිහිපයක් තිබේ.
එම ස්ථර වෙන් කෙරෙන්නේ බොහෝ විට හෙද සේවයට අදාළ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මත බව සිඩ්නි නුවර Registered Nurse හෙවත් ලියාපදිංචි හෙද නිලධාරී අනුෂ්ක තිලකරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඒ අනුව පහත අයුරින් එම ස්ථර වර්ග කිරීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
Assistant in Nursing
හෙද වෘත්තීය පිළිබඳ සහතික පත්‍ර මට්ටමේ අධ්‍යාපනයක් ඇති අයට Assistant in Nursing යන ස්ථරයට පිවිසීමට හැකියාව ඇති බව තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
Enrolled Nurse
හෙද වෘත්තීය පිළිබඳ ඩිප්ලෝමා පාඨ මාලාවක් සම්පුර්ණ කළ අයට Enrolled Nurse කෙනෙකු ලෙස රැකියාව කිරීමට අවස්ථාව තිබේ.
Registered Nurse
හෙද වෘත්තීය පිළිබඳ උපාධියක් හෝ ඊට එහා ගිය සුදුසුකම් සමග පැමිණෙන අයට Registered Nurse කෙනෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කළ හැකි බව තිලකරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඊට අමතරව Registered Nurse කෙනෙකුගේ වෘත්තීය සුදුසුකම් සහ රැකියා පළපුරුද්ද ඉහළ යනවිට Clinical Nurse අංශයේ තව ඉහළට යාමට අවස්ථාව ඇති බවද ඔහු සඳහන් කළේය.
Registered Nurse සහ Enrolled Nurse අතර වෙනස
Registered Nurse සහ Enrolled Nurse අතර ප්‍රධාන වෙනස ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව බවත් ඔවුන්ට පවරා ඇති රාජකාරී මට්ටම් දෙකක පවතින බවත් වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ පිළිගත් සම්ප්‍රදායට හා නීතියට අනුව Enrolled Nurse කෙනෙකු සැමවිටම රාජකාරී කළ යුත්තේ Registered Nurse කෙනෙකුගේ අධීක්ෂණය යටතේ බව සිඩ්නි නුවර Registered Nurse හෙවත් ලියාපදිංචි හෙද නිලධාරී අනුෂ්ක තිලකරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරිවල මෙන්ම ඒ ඒ සෞඛ්‍ය කලාපවලට අවේනික නීතිවලට යටත්ව ද මොවුන්ගේ කාර්ය භාරයන් එකිනෙකට වෙනස්වන බවද ඔහු පැවසීය.
ඇතැම් රෝහල්වල Enrolled Nurse කෙනෙකු හට Registered Nurse කෙනෙකුගේ ඇතැම් රාජකාරී සිදු කිරීමට අවසර ලැබෙන නමුත් ඇතැම් රෝහල්වල ඊට අවසර නැති බවද තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ඛාණ්ඩ
ඔස්ට්‍රේලියාවේ බහුල වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇත්තේ Registered Nurse ලාට බව ලියාපදිංචි හෙද නිලධාරී අනුෂ්ක තිලකරත්න මහතා අප වෙත ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔවුන්ට රාජකාරී කිරීමට හැකි පරාසය ඉතා පුළුල් වීම මෙම ඉහළ ඉල්ලුමට ප්‍රධාන හේතුව ලෙස තිලකරත්න මහතා සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇති හෙද රැකියා ලෙස පහත සඳහන් ඛාණ්ඩ දැක්විය හැකි බව ද ඔහු පැවසීය.
- Aged Care ක්ෂේත්‍රයේ Registered Nurse
- දැඩි සත්කාර ඒකක වැනි Critical Care ක්ෂේත්‍රයේ හෙද වෘත්තිකයින්
- මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ පුහුණුව සහිත Registered Nurse
- අලුත උපන් දරුවන් සම්බන්ධව කටයුතු කරන හෙද වෘත්තිකයින්

ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ගේ සාමාන්‍ය වැටුප් පැකේජ
ඉහත සඳහන් කළ ස්ථර ත්‍රිත්වයට අදාළව කතා කරන විට ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ගේ වාර්ෂික වැටුප් පැකේජයන් සාමාන්‍ය අගයට අනුව පහත ආකාරයෙන් දැක්විය හැකිය.
- Registered Nurse - සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 80,000
- Enrolled Nurse - සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 60,000
- Assistant in Nursing - සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 50,000 - 55,000
ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන හෙද වෘත්තිකයින් ලෙස Anesthetic Nurse හැඳින්විය හැකි අතර ඔවුන්ට සාමාන්‍යයෙන් වාර්ෂිකව ඔස්ට්‍රේලියානු ඩොලර ලක්ෂයක පමණ වැටුපක් හිමිවේ.
මෙම වැටුප් අගයන් Penalty Rates, රාත්‍රී සේවා මුර සහ රැකියා පළපුරුද්ද මත වෙනස් වීමට හැකි බව ලියාපදිංචි හෙද නිලධාරී අනුෂ්ක තිලකරත්න මහතා අප වෙත ප්‍රකාශ කළේය.
ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ද හෙද වෘත්තිකයින්ගේ වැටුප් වෙනස්වන බව ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයෙක් වන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ගේ නියාමකයින් ලෙස කටයුතු කරන්නේ Australian Health Practitioner Regulation Agency (Ahpra) ආයතනයයි.
ඔවුන්ට අනුකූලව ඔස්ට්‍රේලියාවේ Registered Nurse කෙනෙකු වීමට ඔස්ට්‍රේලියාවේ පිළිගත් සහ වලංගු හෙද උපාධියක් සාර්ථකව සම්පුර්ණ කළ යුතුය.
ඊට අමතරව නිර්දේශිත පැය ගණනක් සායනික හෙද පුහුණුව ලැබිය යුතුය.
එමෙන්ම Enrolled Nurse කෙනෙකු වීමට ඔස්ට්‍රේලියාවේ පිළිගත් සහ වලංගු හෙද ඩිප්ලෝමාවක් සාර්ථකව සම්පුර්ණ කළ යුතුය.
ඔවුන්ද Ahpra ආයතනය නිර්දේශ කරන පැය ගණන ආවරණය වන පරිදි සායනික හෙද පුහුණුව ලැබිය යුතුය.
Assistant in Nursing කෙනෙකු වීමට 3 වන හෝ 4 වන මට්ටමේ හෙද සහතික පත්‍ර පාඨ මාලාවක් සාර්ථකව සම්පුර්ණ කළ යුතුය.
Ahpra ආයතනය නිර්දේශ කරන පැය ගණන ආවරණය වන පරිදි සායනික හෙද පුහුණුවක් ඔවුන්ද ලබා ගත යුතුවේ.
ඉහත සඳහන් අවශ්‍යතාවලට අමතරව ඉංග්‍රීසි දැනුම ද Ahpra ආයතනය සලකා බලයි.
ඒ අනුව ඉහත සුදුසුකම් සහ අවශ්‍යතා සපුරා Ahpra ආයතනයේ ලියා පදිංචි හෙද වෘත්තිකයෙකුට පමණක් ඔස්ට්‍රේලියාවේ හෙද ක්ෂේත්‍රයේ සේවය කළ හැකිය.
