සෑම වසරකම අප්‍රේල් 25 වැනිදා ඔස්ට්‍රේලියානුවන් Anzac දිනය සමරයි.
1915 දී පළමු ලෝක යුද්ධයේදී Gallipoli හිදී සටන් කළ ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බලකායට (ANZAC) ගෞරව දැක්වීම සඳහා එය මුලින්ම නම් කරන ලදී.
වර්තමානයේ, මෙම අනුස්මරණය යුද්ධයේදී සහ ආරක්ෂක මෙහෙයුම් සේවයේ යෙදී මිය ගිය සියලුම ඔස්ට්‍රේලියානුවන් සඳහා වෙන් කර තිබේ.

ඔබේ ප්‍රදේශයේ Dawn Service හෙවත් Anzac උදා සේවයට සහභාගී වන්න
Anzac දිනයේ දී, Anzac උදා සේවා ඔස්ට්‍රේලියාව පුරා පවත්වනු ලැබේ.
ඒවා අලුයම 4:30 ට පමණ ආරම්භ වන අතර එය Gallipoli වෙත ගොඩ බැසීමේ වේලාව ලෙස සලකනු ලබයි.
ඇතැම් ඔස්ට්‍රේලියානු ප්‍රධාන නගරවල Anzac උදා සේවයේ ආරම්භක වේලාවන් වෙනස්විය හැකිය.
මෙය ඕස්ට්‍රේලියාවට සම්බන්ධ සියලුම යුධ සහ සන්නද්ධ ගැටුම්වලදී මියගිය හෝ විපතට පත්වූ අය සිහිපත් කිරීමේ උත්සවයකි.
Anzac උදා සේවයෙන් අනතුරුව බොහෝ විට බොහෝ දෙනා සොසේජස්, bread rolls, බිත්තර සහ ඇතැම් විට කෝපි සහ රම් සහිත සරල BBQ වලින් සමන්විත RSL (Returned and Services League) සමාජ ශාලාවල Gunfire උදෑසන ආහාරය ගනු ලබයි.
Gunfire උදෑසන ආහාරය යන නමෙන් අදහස් කරනුයේ සටනට පෙර උදෑසන සොල්දාදුවන් විසින් අනුභව කරන ලද උදෑසන ආහාරය වේ.

ඔබගේ ප්‍රදේශයේ Anzac දින පා ගමන
Anzac උදා සේවාවෙන් අනතුරුව එදින උදෑසන රට පුරා Anzac දින පාගමන් ද පැවැත්වේ.
"අද ඉතිරිව ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ හමුදා ප්‍රවීණයන් ඉතා සුළු ප්‍රමාණයක් වන අතර ඔවුන් 90 ගණන්වල පසුවන අයයි. නමුත් පැහැදිලිවම, කොරියාව සහ වියට්නාමය වැනි පසුකාලීන යුද්ධවලට සහභාගී වූ යුධ ප්‍රවීණයන් සිටින අතර සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය වැනි මෑත යුද්ධවලට දායක වූ පිරිසද සිටිනවා." ඔස්ට්‍රේලියානු යුද ස්මාරකයේ සහකාර අධ්‍යක්ෂ Brian Dawson පැහැදිලි කරයි.
"වෙනත් යුද්ධවලදී සටන් කරලා ඔස්ට්‍රේලියාවට පැමිණි විදේශ හමුදා කණ්ඩායම්ද සිටිනවා" යනුවෙන් ඔහු සඳහන් කළේය.

Anzac සැමරුම් පැවැත්වෙන ස්ථාන
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන අග නගරයකම ප්‍රධාන Anzac උදා සේවා සහ Anzac දින පාගමන් ඇත.
කැන්බරා නුවර නම් ඔස්ට්‍රේලියානු යුද ස්මාරකයේ Anzac සැමරුම් පැවැත්වේ.
සිඩ්නි නුවර Martin's Place හි Cenotaph හි සහ මෙල්බර්න් නුවර Shrine of Remembrance හිදීද Anzac සැමරුම් පැවැත්වේ.
Anzac උදා සේවා, Gunfire උදෑසන ආහාර සහ Anzac දින පාගමන් සංවිධානය කරනු ලබන්නේ RSL Australia විසිනි.
එබැවින් ඔබේ ප්‍රදේශයේ Anzac දිනයේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට හොඳම ක්‍රමය වන්නේ ඔබේ ප්‍රාදේශීය RSL සමාජය සම්බන්ධ කර ගැනීමය.
හමුදා ප්‍රවීණයන් සහ ඔවුන්ගේ පවුල් බොහෝ විට ඔවුන්ගේ දේශීය RSL සමාජ ශාලාවේ Anzac දිනය ගත කරනු ඇත.
ඔබට නීත්‍යානුකූලව Anzac දිනයේ පමණක් ක්‍රීඩා කළ හැකි සූදු ක්‍රීඩාවක් වන two-up ක්‍රීඩා කිරීමට එය හොඳ ස්ථානයකි.
එය සරල ක්‍රීඩාවක් වන අතර එහිදී කාසි විසි කර ඒවා heads හෝ tails ලෙස වැටේ දැයි ඔට්ටු අල්ලයි. සියලු ක්‍රීඩකයින් විසින් ඔට්ටු අල්ලන ලද සියලුම මුදල් ජයග්‍රහණය සඳහා ත්‍යාගය වේ.

Anzac දිනයේ සංකේත
Anzac දිනය හා සම්බන්ධ සංකේත කිහිපයක් තිබේ.
Gallipoli අර්ධද්වීපයේ වැඩෙමින් තිබූ ඔසුවක් වන රෝස්මරී පැළයක් මිනිසුන් එදින පැළඳ සිටී.
සොල්දාදුවන් Gallipoli කලාපයෙන් එම බීජ රැගෙන ආ පසු ඇතැම් අය lone pine සහ Gallipoli රෝස ඔස්ට්‍රේලියාවේ වගා කර ඇත.
රතු පොපි යනු පළමු ලෝක යුද්ධයෙන් පසු යුධ පිටියේ පිපුණු යුරෝපීය ස්වදේශික මලකි.
එය මිය ගිය ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් සිහිපත් කිරීමේ සංකේතයක් බවට පත්ව ඇත.
Ode of Remembrance යනු යුද්ධයේ සිදුකළ ජීවිත පරිත්‍යාගයන් අනුස්මරණය කිරීම සඳහා Anzac දින දේව මෙහෙයේදී පොදුවේ කියවනු ලබන කවියකි.
ඕස්ට්‍රේලියානු යුද ස්මාරකය සමඟ සහයෝගයෙන්, SBS මාධ්‍ය ජාලය විසින් භාෂා 45 කින් Ode of Remembrance හි පරිවර්තන පටිගත කර ඇත.
Anzac බිස්කට් යනු Anzac අනුස්මරණයේ තවත් සංකේතයකි.
Anzac බිස්කට්
Anzac බිස්කට් යනු ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ජනප්‍රිය පැණිරස බිස්කට් එකක් වන අතර එය රෝල් කරන ලද ඕට්ස්, පිටි, සීනි, බටර්, golden syrup, බේකින් සෝඩා, උතුරන වතුර සහ අවශ්‍යනම් වියළි පොල් භාවිතයෙන් සාදන ලදී.
එම අමු ද්‍රව්‍ය පහසුවෙන් නරක් නොවන නිසාත්, නාවික හමුදාවේ ප්‍රවාහනයේදී බිස්කට් හොඳින් තබා ගැනීමට හැකි නිසාත් මෙම බිස්කට් විදේශ රටවල සිටින සොල්දාදුවන්ට භාර්යාවන් සහ කාන්තා පාර්ශවය විසින් යවා ඇති බවට විශ්වාස කෙරේ.

Anzac දිනය ගැන වැඩිදුර තොරතුරු
ඕස්ට්‍රේලියානු යුද අනුස්මරණ වෙබ් අඩවියේ Anzac දිනය සහ ඔස්ට්‍රේලියාවේ හමුදා ඉතිහාසය පිළිබඳ වැඩි විස්තර ඇත.
ඔබට කැන්බරා නුවරට පැමිණ එය නැරඹීමටද හැකිය.
ඇතැම් ප්‍රදර්ශන පුවරු භාෂා කිහිපයකට පරිවර්තනය කර ඇත.

