බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම දෙවතාවක් කල් දැමූ වත්මන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අතර ඔහුගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා සාක්ෂි විමසු බව වාර්තා වේ.
එහිදී කොල්ලූපිටියේ "මොනෑක්" මහල් නිවාස සංකීර්ණයේ අධි සුඛෝපභෝගී නිවස මිලට ගැනීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහ්නේද්‍රන් සහ ඔහුගේ බෑනනුවන් වන අර්ජුන් ඇලෝසියස් පිළිබඳව ඔහුගෙන් කරුණු විමසීය.
ඒ අනුව කොල්ලූපිටියේ මොනෑක් මහල් නිවාස සංකීර්ණයේ නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් බවත් රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ ප්‍රකශ කළේය.
එම නිවස පිළිබඳ තමා ප්‍රථමයෙන් දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය මුල් දිනයේ දී බවද හෙතෙම පැවසීය.
තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළ නමුත් ඔවුන් විසින් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.
මීට අමතරව අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයට අදාළව ලබාගත් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණ වාර්තාවේ රවී කරුණානායක මහතාට අදාළ කොටස කොමිසමට ඉදිරිපත් කරමින් ‘ගරු රවී’ සහ ‘ආර්.කේ.’ යනුවෙන් සඳහන් කරමින් යවනු ලැබු එස්.එම්.එස්. පණිවුඩ ගැන කරුණානායක මහතාගේ අවධානය යොමු කරනු ලැබුවත් ඒ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව පැවසීය.
අර්ජුන් ඇලෝසියස් හා එක හා සමාන කාල පරාසයක් තුළ අවස්ථා 13කදී සිංගප්පුරූ ගිය බවටද එක් අවස්ථාවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිය බවටද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වාර්තා පෙන්වා දුන්නේය.
තමාගේ මතකයට අනුව අර්ජුන් ඇලෝසියස් සිංගප්පුරූවේදී හමුවුයේ එක් අවස්ථාවකදී පමණක් යැයි කී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ කාලයේ සිට ඔහුගේ පරම්පරාවේ අය දන්නා නමුත් අර්ජුන් ඇලෝසියස් සමඟ පෞද්ගලික හෝ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නේ නැතැයි වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.
කොමිසමේ විනිසුරුවරුන් ඇසූ බොහෝ ප්‍රශ්න සඳහා රවී කරුණානායක මහතා තමන් කිසිවක් නොදන්නා බව පවසා ඇති බව වාර්තා වේ.

