Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් හමුවුණු කොරෝනා ආසදිතයා ගේ වෛරස ප්‍රභවය තවමත් අවිනිශ්චිතයි
- ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට එරෙහිව ඔස්ට්‍රේලියනුවෙකු රජයට නඩු දමයි
- දකුණු ඔස්ට්‍රේලියාව ස්ව කැමැත්තෙන් මරණය ලඟාකර ගැනීමට යයි
- ශ්‍රී ලංකාවෙන් එක දිනකදී වර්තවුණු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වෙයි.
- ඉන්දියාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ වාර්තාගත ලෙස ඉහළ යයි.
- කැනඩාව දරුවන්ටත් ෆයිසර් කොරෝනා එන්නත නිර්දේශ කරයි
- කොවිඩ් හේතුවෙන් නවතා දැමු IPL ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බරයේදී නැවත ඇරඹීමේ සුදානමක්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් හමුවුණු කොරෝනා ආසදිතයා ගේ වෛරස ප්‍රභවය තවමත් අවිනිශ්චිතයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට ඊයේ දිනයේදී නිවේදනය කෙරුණ.
50 හැවිරිදි මෙම පුද්ගලයා සිඩ්නි වැසියෙකු වන අතර ඔහු හෝටල් නිරෝධායන සේවකයෙකු, හෝ සෞඛ්‍ය අංශයට සම්බන්ද අයෙකු නොවන අතර මෑතකදී විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුද නොවන බවට හඳුනාගෙන තිබේ.
මෙම තත්වය යටතේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ. මේ හේතුවෙන් තවත් කොරෝනා ආසාදිතයින් ප්‍රජාව තුලින් මතුවිය හැකි බැවින් අවධානම් කලාප වල වෙසෙන පුද්ගලයින් හට වහාම කොරෝනා පරීක්ෂාවන් සඳහා යොමුවන ලෙසට නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කොට සිටී.
පසුගිය අප්‍රේල් 30 සිට මෙම ආසාදිත පුද්ගලයා සැරිසැරූ ප්‍රදේශ වන Bondi Junction හි සිනමා ශාලාව, Silverwater, Rushcutters Bay, Moore Park cafe, Annandale, Casula සහ Mascot යන ප්‍රදේශ සහ ස්ථාන අවධානම් කලාප ලෙසට හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය ජනවාරි 15 වන දිනෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ද වේ.
** මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය අද වැඩසටහනේ විකාශනය වූවාට යාවත්කලීන වුනු තොරතුරු පහතින්
UPDATE : මේ වන විට 50 හැවිරිදි මෙම ආසාදිත පුද්ගලයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව අද (මැයි 6) සවස 5 සිට ලබන සඳුදා (10) දක්වා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ග්‍රේටර් සිඩ්නි කලාපයට කොරෝනා සීමා කිරීම් කිහිපයක් ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත්කොට තිබේ. එනම්,
- නිවස් වල ඒකරාශී වීම් පුද්ගලයින් 20 දෙනෙකුට සීමා වේ.
- පොදු ප්‍රවාහන සහ ගෘහස්ථ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- මංගල උත්සව හැරුණු විට අනෙකුත් ස්ථාන වල ගායනය සහ නර්තනයේ යෙදීම (indoor dancing) ඉදිරි දින තුන සඳහා තහනම්
ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට එරෙහිව ඔස්ට්‍රේලියනුවෙකු රජයට නඩු දමයි
ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු විසින් ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණයෙහි වලංගු භාවය, නීත්‍යානුකූලව අභියෝග කිරීමට සැලසුම් කරයි.
73 හැවිරිදි වියේ පසුවන නීතිඥයෙකු වන මෙම පුද්ගලයා, මෙම සතියේදී ෆෙඩරල් අධිකරණයේ මේ සම්බන්ද නඩුවක් ගොනු කලේය. ඒ මඟින්, මෙලෙස සංචාරක තහනමක් පැනවීමට අදාල ව්‍යවස්ථාමය හේතු අභියෝගයට ලක්කොට ඇතැයි වාර්තා වේ. මෙම පුද්ගලයා මාර්තු මාසයේදී ඉන්දියාවට ගොස් දැනට බැංගලෝරයේ රැඳී සිටී.
මේ අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී කොන්සර්වේටිව් කණ්ඩායමක් වන 'ලිබර්ටි වර්ක්ස්' කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනමට
එරෙහිව නීතිමය අභියෝගයක් එල්ල කළ අතර එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තර්ක කරන ලදි.
එම නඩුව අද දිනයේදී (6 May) පූර්ණ ෆෙඩරල් අධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විභාග කෙරේ. එය ජයග්‍රහණය කළහොත් මෙරට දේශ සීමා සති කිහිපයක් ඇතුළත විවෘත විය හැකි බව ද 'ලිබර්ටි වර්ක්ස්' කණ්ඩායම පවසා සිටී.
දකුණු ඔස්ට්‍රේලියාව ස්ව කැමැත්තෙන් මරණය ලඟාකර ගැනීමට යයි
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ (5 May) රාත්‍රියේදී විශේෂ රෝගී තත්ත්ව යටතේ සිටින පුද්ගලයින් හට ස්ව කැමැත්තෙන් මරණය ලඟාකර ගැනීම සඳහා වන නීති සම්මත කොට තිබේ.
මෙම පනත් කෙටුම්පත 'හෘද සාක්ෂියට එකඟව ' වන චන්ද විමසීම හෙවත් conscience vote සඳහා නැවතත් පහළ මන්ත්‍රණ සභාවට යාමට නියමිතයි. එය සාර්ථක වුවහොත් විශේෂ රෝගී තත්ත්ව යටතේ සිටින පුද්ගලයින් හට ස්ව කැමැත්තෙන් මරණය ලඟාකර ගැනීම නීතිගත වන හතරවන ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියාව පත්වනු ඇත.
මෙම නිතිය සම්මත කොට ගැනීම සඳහා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පසුගිය අවුරුදු 25 ක කාලයක් තුල 17 වතාවක් කෙටුම් පත් ඉදිරිපත්ව තිබේ. මෙම වතාවේදී එය වැඩි චන්ද 7 කින් සම්මතව තිබේ.
විශේෂ රෝගී තත්ත්ව යටතේ සිටින පුද්ගලයින් හට ස්ව කැමැත්තෙන් මරණය ලඟාකර ගැනීම සඳහා වන මෙම නිතිය මේ වන විට වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ තස්මේනියා යන ප්‍රාන්ත වල නීතිගත වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධාන පුවත් කිහිපයක්
දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනු ලැබූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී (5 May) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 1,936 කි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,17,529 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 11 ක් වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු වන අතර මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු ද වන බව ද වාර්තා වේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 720 කි.
මේ අතර රුසියාවේ සිට රැගෙන ආ 'ස්පුට්නික් V' කොරෝනා එන්නත් තොගය අද සිට (6 May) ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දීමට නියමිත බවද සඳහන්. කොළඹ ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් සඳහා එම එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය වකවානුවේදී දැඩි ලෙස කතා බහට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදනය කළ ධම්මික පැණිය සායනික පරීක්ෂණවලින් අසමත් වී ඇති බව වාර්තා වේ.
මෙම ධම්මික පැණිය ඉකුත් සමයේ දැඩි කථාබහකට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ කථානායකවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එම පැණිය භාවිත කලහ. එම පැණිය සම්බන්දව සායනික පරීක්ෂණ සිදුකළ විශේෂඥ කමිටුව සඳහන් කොට ඇත්තේ එය කොරෝනා ආසාදිතයින්ට කිසිඳු අයුරකින් ප්‍රතිකාරයක් නොවන බවයට සායනික පරීක්ෂණවලින් තහවුරු වුනු බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ඊයේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. ඔහු මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිධුරය හොබවමින් සිටියේය.
ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ වාර්තාගත ලෙස ඉහළ යයි.
ඉන්දියාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ වාර්තාගත ලෙස 3780 කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට පසුව ආසාදන මිලියන 20 ක දරුණු සන්ධිස්ථානය පසු කළ දෙවන රට බවට ඉන්දියාව පත්ව තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව ඊයේ දිනයේදී පමණක්, දෛනික ආසාදන සංඛ්‍යාව 382,000 කට වඩා වැඩි වී තිබේ
වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පැතිරී යන හෙයින් කොරෝනා ආසාදිත ඉන්දියානුවන් සඳහා අවශ්‍ය ඇඳන් හා ඔක්සිජන් සීමිත වී ඇත අතර රෝහල් වල ඇති මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඉතිරී ගොස් ඇති බවට වාර්තා වේ.
කැනඩාව දරුවන්ටත් ෆයිසර් කොරෝනා එන්නත නිර්දේශ කරයි
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා ෆයිසර් COVID-19 එන්නත භාවිතා කිරීමට අවසර දුන් ලොව පළමු රට බවට කැනඩාව පත්වෙයි. මෙතෙක් Pfizer කොරෝනා එන්නත් ලබා දී ඇත්තේ වැඩිහිටියන්ට පමණි.
කැනඩාවේ ඇල්බර්ටා පලාතේ අගමැති ජේසන් කෙනී පවසන්නේ තම පළාතේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්, ලබන සඳුදා සිට ෆයිසර් කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබන බවයි.
කොවිඩ් හේතුවෙන් නවතා දැමු IPL ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බරයේදී නැවත ඇරඹීමේ සුදානමක්
කොරෝනා හේතුවෙන් IPL තරඟාවලිය අතර මඟ නවතා දැමීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 350 ක මුදලක් අහිමි වී ඇතැයි වාර්තා වේ.
ලෝකයේ ධනවත්ම T 20 තරඟාවලිය වන මෙය පසුගියදා අතරමඟ අත්හිටුවීමට සිදුවූවත් එය ලබන සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරීමට හැකි වෙනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වේ.
මේ අතර ඔස්ට්‍ර්ලියාවේ දැනට ක්‍රියාත්මක තාවකාලික ගමන් තහනම නිසා ඉන්දියාවේ සිරවී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මේ මස 15 වනදායින් පසුව මෙරටට ගෙන්වා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
ක්‍රිකට් ඕස්ට්‍රේලියා හි අතුරු මණ්ඩලයේ ප්‍රධානී 'නික් හොක්ලි' ප්‍රකාශකර සිටියේ එම ක්‍රීඩකයින් සඳහා සුවිශේෂ ගමන් වරප්‍රසාද අපේක්ෂා නොකරන නමුත් සියලු ක්‍රීඩකයින් ආරක්ෂිතව හැකි ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ දරන බවයි.
** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - මැයි මස 6 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

