Highlights
- ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය වෙත නිරෝධයනය රහිත සංචාර ආරම්භ කිරීම
- නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයට පනවා තිබූ හදිසි කොරෝනා සීමා කිරීම් අවසන්
- පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු නිර්දේශ ඇතුලත් අවසාන වාර්තාව විමර්ශනයට පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාවෙන් තවත් නිර්දේශ
- මේ දක්වා වාර්තා වුනු විශාලතම දෛනික කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය අවසන්. තාවකාලික ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්
ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය වෙත නිරෝධයනය රහිත සංචාර ආරම්භ වේ
ට්‍රාන්ස් ටැස්මන් බබල් සංචාරක ක්‍රමෝපාය යටතේ ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය වෙත නිරෝධයනය රහිත සංචාර ආරම්භ කිරීමේ නිශ්චිත දිනය අද නවසිලන්ත රජය විසින් නිවේදනය කෙරින. එය අප්‍රේල් මස 18 දා ආරම්භ වීමට නියමිතයි.
ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් අතර පැවති, දෙරට අතර සංචාරක කර්මාන්තය නංවාලීමේ සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙසින් මෙම ට්‍රාන්ස් ටැස්මන් බබල් ක්‍රමෝපාය යෝජනා විය.
ඒ යටතේ නවසීලන්ත සංචාරකයින්ට බොහෝ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි වලට හෝටල් නිරෝධායනයකින් තොරව පැමිණීමට අවසර දී ලබාදී තිබුනද, විටින් විට උත්සන්න වුනු COVID-19 වසංගත තත්ත්ව හේතුවෙන් එයට බාධා එල්ල විය.
කෙසේ වෙතත් නවසීලන්ත ගුවන්තොටුපල බලධාරීන් පවසනුයේ ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින් සඳහා අප්‍රේල් මැද සිට ගුවන්තොටුපොළ සුදානම්ව තබන බවයි. එසේම සෞඛ්‍ය නිලධාරීන් විසින් ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළ පරීක්ෂා කිරීමට ද නියමිත බවද වාර්තා වේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයට පනවා තිබූ හදිසි කොරෝනා සීමා කිරීම් ඊයේ රාත්‍රියෙන් අවසන්
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයට පනවා තිබූ හදිසි කොරෝනා සීමා කිරීම් ඊයේ රාත්‍රී 11.59 ට අවසන් විය. දින 4 ක කාලයක් ප්‍රජාව තුලින් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයේ ජනයාට පනවා තිබූ නිවෙස් වලට පුද්ගලයින් ගෙන්වා ගැනීමේ සීමා කිරීම් සහ පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම වැනි නීති අද සිට ක්‍රියාත්මක නොවේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයට බලපෑ ප්‍රජා අසාදනය බ්‍රිස්බේන් කොරෝනා පොකුරට සම්බන්ද බවට හෙළිවීම නිසා නිව් සවුත්වේල්සයේ පැවැත්වීමට නියමිතව තිබු Bluesfest සංගිතප්‍රසංගය අවලංගු කිරීමට බල කෙරින. එය ප්‍රාන්තයේ hospitality සහ සංචාරක ක්ෂේස්ත්‍රය ට දැඩිව බලපා ඇතැයි වාර්තා වේ.නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජෙරමි මැක්අනල්ටි පවසන්නේ බ්‍රිස්බේන් හි අවදානම තවමත් අවසන් වී නොමැති බවයි.
මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහනට GP වෛද්‍ය වරුනගේද සහය
මෙරට කොවිඩ් එන්නත්කරන වැඩසටහනට GP වෛද්‍ය වරුනගේද සේවය එක්කරලිම තුලින් එන්නත්කරන වැඩසටහන වේගවත් වනු ඇති බවට මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාසය පලකොට සිටිති.
වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි මයිකල් කිඩ් පවසන්නේ මෙම සතිය අවසන් වන විට රජය විසින් කොරෝනා එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 1500 සිට 3,000 දක්වා දෙගුණයක් කරන බවයි.
ඕස්ට්‍රේලියාව මේ සතියේ දී එන්නත් ලබාදීමේ සංඛ්‍යාව මිලියනයක් කරා ළඟාවීමට නියමිතව ඇත. එහෙත් එය අපේ‍්‍රල් මුල වන විට රජයේ මුලික ඉලක්කය වූ මිලියන හතරට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවකි.
ඇතැම් වෛද්‍ය සායනවලට කොරෝනා එන්නත ලබා දීම සඳහා ලියාපදිංචි වීමට හැකි වී ඇති අතර අනෙක් ඒවාට එසේ හැකියාව නොලැබීම මත ව්‍යාකූලත්වයක් ඇතිකොට තිබේන බව වෛද්‍ය ප්‍රතිසංස්කරණ සංගමයේ ජාතික උප සභාපති ආචාර්ය කොන් කොස්ටා පවසයි
මේ අතර GP හෙවත් සාමාන්‍ය වෛද්‍ය සේවාව රජයේ මෙම තීරණය විරෝදය පලකොට සිටී. කොරෝනා එන්නත්කරන වැඩසටහන යටතට තම GP වෛද්‍ය සේවය අනුගත කරලීම තුලින් තම රාජකාරිය අනවශ්‍ය ලෙසට කාර්යබහුල වනු ඇති බවත්, එම නිසා රෝගීන් පරික්ෂාවට එය බාධාවක් වනු ඇති බවත් මෙල්බර්න් හි වෛද්‍ය ටොඩ් කැමරන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේය.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් කිහිපයක් කෙටියෙන්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු නිර්දේශ ඇතුලත් අවසාන වාර්තාව විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති කමිටුවේ අවසන් නිර්දේශ ඇතුලත් වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීම උදෙසා ඉකුත් පෙබරවාරි මස 19 වනදා ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට අනු කමිටුව පත් කරන ලදී.
ඒ අනුව ඊයේ ජනාධිපති වරයාට භාරදුන් මෙම කැබිනට් අනු කමිටු වාර්තා වේ නිර්දේශ 78 ක් ඇතුලත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කොට සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළේය. උසාවියට අපහාස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපති නම් කරනු ලැබ තිබිණ.
එහෙත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති විසින් මූලික විරෝධතාවක් ගොනු කරනු ලැබිණ. එය පිලිගනිමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල විසින් තීන්දු කරන ලදී.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
මේ අතර සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු නම් කොට තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්” ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසට ඊයේ දිනයේදී නියෝග කොට ඇත. එසේම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දැනට ශ්‍රී ලංකාවේ දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ඇෆලටෝක්සින් නමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය ඉහල පරිමාණයෙන් පොල්තෙල් වල හමුවීමට ප්‍රභල හේතුවක් ව ඇති, පොල්තෙල් වලට පාම් ඔයිල් කලවම් කිරීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
සෙරෝජා සුළි කුණාටුව පුද්ගලයින් 100 කට ආසන්න සංක්‍යාවක් මරා දමයි
සෙරෝජා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ සහ නැගෙනහිර ටිමෝර්යේ පුද්ගලයින් 97 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දුනීසියාවේ බටහිර හා නැගෙනහිර ප්‍රදේශවල ද පුද්ගලයින් 70 ක් පමණ අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙම සෙරෝජා සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ටිමෝරයේ අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7,000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
අතුරුදහන් වූවන් සොයා ගැනීමට පළාත් පාලන ආයතන විසින් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කොට ඇති බවද සඳහන්.
විශාලතම දෛනික කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි
කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා කාලය තුලදී වාර්තා වුනු විශාලතම දෛනික කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 1,03,558 කි. මෙම තත්වය මත ඉන්දියාවේ ව්‍යාපාර හා පූජනීය ස්ථාන වසා දැමීමට බලධාරීන් විසින් කටයුතු කොට තිබේ.
මෙතරම් විශාල දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවීමට හේතු වී ඇත්තේ පොදු ස්ථානවල සමාජීය දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළදීම බව ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය අවසන්
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන්ගේ නිල කාලය ඊයෙන් අවසන් විය. ඒඅනුව ලබන මස 20 දා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පත්කළ ක්‍රිකට් කළමනාකරණ කමිටුව අද වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ නියමය පරිදි මෙම කමිටුව පත්කරනු ලැබ ඇත.
එහි සභාපති ලෙසට මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කටයුතු කරන අතර ලේකම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරනු ලබයි.
ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු උදෙසා මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්කොට තිබේ.
පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද - අප්‍රේල් මස 6 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

