හයවැනි වරටත් ක්‍රියාත්මක පන්දුවාර විස්‌සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරග වටය හෙවත් සුපිරි කණ්‌ඩායම් 10 අතර තරග වටය අද (මාර්තු 15 දා) සත්කාරක ඉන්දීය කණ්‌ඩායම සහ නවසීලන්තය අතර නාග්පූර්හි විදර්බා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය එරට වේලාවෙන් ප.ව. 7.30 ට/ ඕස්ට්‍රේලියානු වේලාවෙන් අළුයම 1.00 ට ආරම්භ වනු ඇත.
ආසියානු කුසලාන තරගාවලිය ජය ගැනීමත් සමග 20 යි 20 ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්‌ථානයට පැමිණ සිටින ඉන්දීය කණ්‌ඩායම මෙවර 20 යි 20 ලෝක ශූරතාව දිනාගනු ඇතැයි සඳහන් වන කණ්‌ඩායම් අතර ඉදිරියෙන්ම පසුවෙයි. එමෙන්ම මෙම තරගාවලියේ සත්කාරක රට වශයෙන් ලබන වාසියද ඉන්දීය කණ්‌ඩායම සතුවීම එම අභියෝගය තවත් තීව්‍ර කරනු ඇත.

තරගාවලියට ප්‍රථම පවතී පුහුණු තරගවලදී දෙපිළම එක් තරග ජයග්‍රහණය බැගින් වාර්තා කරමින් අද තරගයට පිවිසෙනු ඇත. මෙහිදී ඉන්දීය කණ්‌ඩායම බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති පුහුණු තරඟය ලකුණු 45 කින් ජයගත්තද දකුණු අප්‍රිකාව සමග පැවැති තරඟයේදී ලකුණු 4 කින් පරාජයට පත්විය.
අද තරඟ වදින නවසීලන්ත කණ්‌ඩායම ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරඟයෙන් ලකුණු 74 කින් ජය ගැනීමට සමත් වූ අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලූ 4 කට ලකුණු 226 ක් වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත්වීම කැපී පෙනුණි. එහෙත් එංගලන්තය සමගින් පැවැති තරගයෙන් නවසීලන්ත කණ්‌ඩායම කඩුලු 6 ක පරාජයක් ලැබීය.
20 යි 20 ලෝක කුසලානය ආරම්භ වීමට ප්‍රථම ඉන්දීය කණ්ඩායම තරඟාවලි 2 සහභාගී විය. එයින් ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ක් සහ ශ්‍රී ලංකාවට එරෙහිව 2-1 ක් වශයෙන් ලද තරගාවලි ජයග්‍රහණ සමගින් ඉන්දීය කණ්‌ඩායම ලෝක කුසලානයට පෙර සහභාගි වුනු තරග 11 න් 10 ක්‌ම ජය ගැනීමට සමත්ව තිබීම හේතුවෙන් අද තරඟයට වඩාත් ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව පිවිසීමට ඉන්දීය කණ්ඩායමට හැකිවෙනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අනාවැකි පළකරති. එමෙන්ම ඉදිරි පෙළ පිතිකරුවන් වන රෝහිත් ෂර්මා, ශිකර් ධවාන් සහ විරාට් කෝලි තිදෙනාම ඉතාම හොඳින් ලකුණු අතර සිටීමද ඉන්දීය කණ්‌ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවන්නකි.

නවසීලන්තය පැත්තෙන් බලන කල හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නවසීලන්ත පිලට පාඩුවක් වන නමුත් වත්මන් කණ්‌ඩායමට එක්‌වී සිටින තරුණ ක්‍රීඩකයන්ගේ දක්‌ෂතා ගෙන බැලීමේදී කිසිවිටෙකවත් ඔවුන් අඩුතක්‌සේරුවෙන් සැලකිය නොහැකි බවට අනාවැකි පලවෙයි. වසර 2014 20 යි 20 ක්‍රිකට් ලෝක ශූරයන් වන ශ්‍රී ලංකාවට එරෙහිව වූ පුහුණු තරගයේදී නවසිලන්ත කණ්ඩායම රැස් කරන ලද ලකුණු 226 ක ඉනිම එයට කදිම උදාහරණයක් බවද විචාරක මතය වී තිබේ.

