දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවතී Halloween උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 153 දෙනෙකු මියගිය ගොස් ඇතැයි යන පුවත පසුගිය සති අන්තයේ ලොවම කම්පාවට පත් කළ ප්‍රධාන පුවතක් විය.
මෙම අවාසනාවන්ත ඛේදවාචකයට ඔස්ට්‍රේලියානුවෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු ද මුහුණ දී ඇතැයි මේ වන විට වාර්තා වේ.
මේ සිදුවීමත් සමග ඔස්ට්‍රේලියාවේ Halloween උත්සවය පිළිබඳ කතා බහ බරපතල මානයකට යොමුවී ඇත.
Halloween උත්සවය සැමරීම ඔක්තෝබර් 31 වන දින එනම් අදට යෙදී තිබේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ මෙම Halloween උත්සවය සැමරීම සිදු කරන්නේ නිවැරදි කාලයේද? මෙහි නිධාන කතාව මොකද්ද? මේ ලිපියෙන් ඒ තොරතුරු විමසා බලමු.

Halloween සැමරුම පැමිණියේ කොහෙන්ද?
Halloween උත්සවය ළං වන විට ඔස්ට්‍රේලියාව පුරා සිටින බොහෝ ළමයින් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇඳුම් පැළඳුම් සහ නිවාස Halloween තේමාවන්ට අනුව සරසමින් ඒ සියල්ලටම බියජනක මුහුණුවරක් ගෙන දීමට උත්සහ දරයි.
මෙම Halloween සැමරීම පැමිණ ඇත්තේ අමෙරිකාවෙන් බවට ප්‍රසිද්ධ මතයක් ඇති නමුත් ඇත්තෙන්ම මෙහි මූලාරම්භය අයර්ලන්තයට දිව යයි.
කාලයත් සමඟ පරිණාමය වූ ඇතැම් සම්ප්‍රදායන් සමග නූතන Halloween ලෙස අප සිතන දේ ඇමරිකාවට පැමිණි අයර්ලන්ත සංක්‍රමණිකයන් විසින් හඳුන්වා දෙන ලදී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Halloween සැමරුම ඔක්තෝබර් 31 ට යෙදී ඇත්තේ ඇයි?
ලොව පුරා Halloween උත්සවය ඔක්තෝබර් මාසයේ අවසාන දිනයේ රාත්‍රියේ සමරනු ලැබේ.
මුල් Celtic දින දර්ශනයේ සෘතුමය උත්සවයක් වන Samhain උත්සවය Halloween ලෙස පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු Celtic Learning පාසලේ විදුහල්පතිනිය වන Pamela O’Neill පැවසුවාය.
එක් වසරක් කොටස් හතරකට බෙදා ඇති බවත් උතුරු අර්ධගෝලයේ Samhain ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කරන බව ඇය ප්‍රකාශ කළාය.
Samhain යන්නෙන් අදහස් කරන්නේ ග්‍රීෂ්ම සෘතුවේ අවසානය යන්න බව ද ඇය පැහැදිලි කළාය.
මේ අවස්ථාවේ අනෙකුත් ආත්මයන් සහ මනුෂ්‍ය ලෝකය අතර බෙදීම තුනී වී ඇති බවට Celtic ජනයා විශ්වාස කළ බව ද Pamela O’Neill පැවසුවාය.
දකුණු අර්ධගෝලයේ සෘතු උතුරු අර්ධගෝලයේ ඇති සෘතුවලට වඩා වෙනස් වන අතර ඔස්ට්‍රේලියානුවන් ඇත්ත වශයෙන්ම Halloween උත්සවය සමරන්නේ වසරේ වැරදි කාලයක බව ඇතැම් පුද්ගලයින් විශේෂයෙන්ම මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායන් අනුගමනය කරන අය විශ්වාස කරයි.
ඔස්ට්‍රේලියාව Halloween සමරන්නේ නිවැරදි දිනයේද?
Halloween යන්නෙහි නියම තේරුමට අනුව නම් ඔස්ට්‍රේලියාව Halloween උත්සවය පැවැත්විය යුත්තේ අප්‍රේල් 30 හෝ මැයි 01 වන දින බව Pamela O’Neill සඳහන් කළාය.
ඔස්ට්‍රේලියානුවන් අප්‍රේල් මස අවසානයේ Halloween සැමරුවහොත් එය වඩාත් අර්ථවත් වනු ඇති බව Queensland Pagan Collective හි නිර්මාතෘ Wayne Pina-Roozemond පැවසුවේය.
නමුත් දැන් Halloween සැමරුමට සම්බන්ධවී ඇති පාරිභෝගිකවාදය සැලකිල්ලට ගෙන, සිල්ලර වෙළෙන්දන් මෙම නව දිනයට සම්බන්ධ වනු ඇතැයි තමා නොසිතන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මෙම වසරේ Halloween සැමරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සමස්ත ඔස්ට්‍රේලියාවම ඩොලර් මිලියන 430 ක් පමණ වැය කිරීමට අපේක්ෂා කරයි.

භයානක සුරංගනා කතා සහ අනෙකුත් Celtic සම්ප්‍රදායන්
ඔස්ට්‍රේලියානුවන් වසරේ වෙනත් දිනයක Halloween සැමරිය යුතුද නැද්ද යන ප්‍රශ්නය ඔස්ට්‍රේලියාවේ සුරංගනාවන් සිටිනවාද නැද්ද යන්න වැනි තවත් ප්‍රශ්න ඇති කරන බව ඔස්ට්‍රේලියානු Celtic Learning පාසලේ විදුහල්පතිනිය වන Pamela O’Neill පැවසුවාය.
සුරංගනාවියන් ජීවත් වන්නේ ආත්මීය ලෝකයක වන බවත් ග්‍රීෂ්ම සෘතුව අවසානයේ හෝ ශීත සෘතුවේ ආරම්භයේදී ඔවුන් ගමන් කිරීමට ඉඩ ඇති බැවින් එයට මිනිසුන්ට වඩාත් ප්‍රවේශ විය හැකි වූයේ Samhain සමයේ බවත් Celtic ජනයා විශ්වාස කළහ.
“අපි කතා කරන්නේ Tinkerbell ගැන නෙමෙයි, ඔවුන් කතා කරන්නේ තරමක් අප්‍රසන්න සහ බොහෝ විට නපුරු වෙනත් ලෝකයක ජීවීන් ගැනයි” යනුවෙන් Pamela O’Neill පැවසුවාය.

දකුණු කොරියාවේ අවාසනාවන්ත Halloween සැමරුම
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවතී Halloween උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ඔස්ට්‍රේලියානුවෙකුද සිටි බව වාර්තා වෙයි.
සෝල් අගනුවර Halloween උත්සවයකට එක්ව සිටි විශාල පිරිසක් පටු මාර්ගයකදී තෙරපීමෙන් මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුවී ඇති බවත් එහිදී පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වේ.
අදාළ ඔස්ට්‍රේලියානුවාගේ මරණය සම්බන්ධයෙන් සෝල් අගනුවර ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට දන්වා ඇති අතර කොන්සියුලර් නිලධාරීන් අදාළ මිය ගිය පුද්ගලයාගේ ඔස්ට්‍රේලියාවේ සිටින පවුලට ඒ සම්බන්ධයෙන් සහය සපයන බව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අතර මෙම තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රීලාංකිකයෙකු ද සිටි බව මේ වන විට වාර්තා වේ.
එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ 27 හැවිරිදි තරුණයෙකු බව ද වාර්තාවේ.

