නව වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි කුලී නිවාස සංඛ්‍යාව වාර්තාගත අවම මට්ටමකට පැමිණ තිබේ.
PropTrack හි බුද්ධි වාර්තාවකට අනුව realestate.com.au හි සතියකට ඩොලර් 400 ට අඩු කුලියට ගැනීම සඳහා ලැයිස්තුගත කර ඇති නිවාසවල ප්‍රතිශතය 2022 සැප්තැම්බර් මාසයේදී 19.3% ක වාර්තාගත අවම මට්ටමකට පහත වැටී ඇත.
කුලී නිවාස අඩුවෙන් පුරප්පාඩු වීම, පළමු නිවාස ගැනුම්කරුවන්ගේ නිවාස මිලදී ගැනීම අඩු මට්ටමක තිබීම සහ සංක්‍රමණය වැඩි වීම හේතුවෙන් දැරිය හැකි කුලී නිවාස සැපයීම ඉදිරි මාස කිහිපය තුළ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව විශේෂඥයෝ පවසති.
PropTrack වාර්තාවෙන් හෙළිවුණු කරුණු
2022 සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ එක් ප්‍රධාන නගරයක හෝ සතියකට ඩොලර් 400 ට අඩු කුලියක් සහිත නිවාස හතරෙන් එකකට වඩා තිබුණේ නැති බව මෙම වාර්තාව අනාවරණය කරයි.
සිඩ්නි හි, කුලී නිවාස පහෙන් එකක් වසරකට පෙර සතියකට ඩොලර් 400 ට අඩු බව ප්‍රචාරණය කරන ලද නමුත් 2022 සැප්තැම්බර් මාසයේදී එය 10 න් එකකට පහත වැටී ඇත.
Hobart, Darwin සහ Canberra හි, කුලී නිවාස 10 න් එකකට වඩා අඩු ප්‍රමාණයක් සතියකට කුලිය ඩොලර් 400 ට අඩු නිවාස ලෙස වාර්තා විය.
මේ අතර ප්‍රාදේශීය කලාපවල සතියකට කුලිය ඩොලර් 400 ට අඩු ප්‍රචාරණය කරන ලද කුලී නිවාසවල ප්‍රතිශතය 57% සිට 28% දක්වා පහත වැටී ඇත.

නිවාස කුලී වැඩි වීමට හේතුව කුමක්ද?
කුලී නිවාසවල අඩු පුරප්පාඩු අනුපාත සහ කුලී විකල්ප නොමැතිකම මෙලෙස දැරිය හැකි කුලී නිවාසවල ප්‍රමාණය අඩු අගයක් දක්වා පහළ බැස ඇති බව PropTrack ආර්ථික විද්‍යාඥ Angus Moore පවසයි.
මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ ඉක්මනින් නිවාස කුලිය වැඩිවන බව අපට පෙනෙන ප්‍රධාන හේතුව වන්නේ කුලී නිවාස විශාල ප්‍රමාණයක් නොමැති වීම බවද ඔහු පැවසීය.
"කුලී නිවාසවල පුරප්පාඩු අනුපාත අතිශයින් අඩුයි, realestate.com.au හි ලැයිස්තුගත කර ඇති කුලී නිවාස ප්‍රමාණය පූර්ව වසංගත සමයේ ප්‍රමාණයට සාපේක්ෂව බෙහෙවින් අඩුයි" යනුවෙන්ද ආර්ථික විද්‍යාඥ Angus Moore වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිකිරීම් කර්මාන්තයේ භාණ්ඩ සැපයුම් ගැටළු හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඉදි කළ හැකි නව නිවාස ප්‍රමාණයේ සීමාවන්ට මුහුණ දී තිබීමත් මෙයට හේතුවක් බව ANZ පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Catherine Birch පැවසුවාය.
"තමන්ගේ නව නිවස ඉදිකරන තෙක් බොහෝ දෙනෙක් බලාසිටිනවා, එම නිවාස ඉදි කළා නම් ඔවුන් දැන් එහි පදිංචියට ගොස් තමන් සිටි කුලී නිවාස අත්හරිනු ඇති. එම නිවාස තවත් පිරිසකට ලබා ගැනීමට අවස්ථාව ඒ අනුව සැලසෙනවා." යනුවෙන් Catherine තවදුරටත් පැහැදිලි කළාය.
ප්‍රාදේශීය කලාප වෙත සිදුවන සංක්‍රමණය
2020 ජුනි දක්වා කාර්තුවේදී ප්‍රධාන නගරවල සිට ප්‍රාදේශීය කලාප වෙත ගිය පිරිස 10,500 ක් පමණ වූ බව 2020 දෙසැම්බරයේදී, රජයේ ජනගහන මධ්‍යස්ථානය පෙන්නුම් කළේය.
මෙම අභ්‍යන්තර සංක්‍රමණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල කුලී නිවාසවල පුරප්පාඩු අනුපාත අඩු වී කුලිය ඉහළ ගොස් ඇති බව ආර්ථික විද්‍යාඥ Angus Moore ප්‍රකාශ කළේය.

