පසුගිය ඉරිදා (18/03) පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් මිලයන 56 කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් හිටපු ජනාධිපති Vladimir Putin සිව්වන වරටත් රුසියානු ජනාධිපති ලෙස තේරී පත් විය.
මෙවර ජනාධිපතිවරණයෙන් ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 76.69% ක් වන අතර රුසියානු මැතිවරණයකදී පුටින් ලබාගත් දැවැන්තම ජයග්‍රහණයද මෙය වේ.
මේ අනුව තවත් වසර 6 කට රුසියාවේ ජනපති ධුරය හෙබවීමට වරම් ලද පුටින් 2024 වන තෙක් රුසියානු ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.
මේ අනුව 1999 වසරේ සිට 2024 දක්වා රුසියානු රාජ්‍යයේ පළමු පුරවැසියා ලෙස වසර 25 ක් කටයුතු කරන Vladimir Putin, සෝවියට් සමුහාණ්ඩුවේ Josef Stalin ට පසුව වැඩිම කලක් රුසියාව පාලනය කරන නායකයා ලෙස ද ඉතිහාසගතවනු ඇත.
65 වන වියෙහි පසුවන Vladimir Putin, තම ජයග්‍රහණයෙන් පසුව බටහිර ජාතීන් සමග පවත්වන්නට අපේක්ෂා කරන රුසියානු සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වා සිටියේය.
බටහිර සමග කිසිදු ආකාරයේ අවි තරගයක් තමාට නැති බව එහිදී ඔහු ඉතාමත් මෘදු ස්වරයකින් පැවසුවේය.
එමෙන්ම ඇතැම් බටහිර රටවල් සමග පවතින හිත් නොහොඳකම් විසඳීමට තමන් හැකි සෑම උත්සාහයක්ම දරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ජර්මනියේ චාන්සලර් Angela Merkel, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සහ තුර්කි ජනාධිපති Tayyip Erdogan සමග ජයග්‍රහණයෙන් අනතුරුව Vladimir Putin දුරකථන සංවාද වල යෙදුනු බවද වාර්තා වේ.

