වසර 1788 බ්‍රිතාන්‍යන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැට වලට මුහුණ දීමට සිදුවුනා.
ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් තමයි එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ආදිවාසී දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්තාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම.
එවක ඕස්ට්‍රේලියාවේ සුදු පාලනාධිකාරිය සඳහන් කලේ මෙම ආදිවාසී දරුවන්, ගෝත්‍රිකත්වයෙන් මුදවා ඔවුන්ව සිවිල් පුරවැසියන් ලෙසින් හැඩ ගැසීම උදෙසා මෙම ක්‍රියාවලිය සිදුකරන බවයි.
මේ විදිහට දශක ගණනාවක් තිස්සේ ආදිවාසී දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කෙරුනා. මේ සඳහා වර්ෂ 1869 දී Victoria ප්‍රාන්තය විසින් Victorian Aboriginal Protection Act 1869 නමින් පනතක් ද සම්මත කර ගත්තා. මෙම පනත මගින් බලහත්කාරයෙන් ආදිවාසී දරුවන්ව තම පවුල් වලින් වෙන්කොට ඔවුනගේ නිජ භූමි වලින් සැතපුම් දහස් ගණන් ඈතින් පිහිටවනු ලැබූ පුනුරුත්තාපන මද්‍යස්ථාන වලට යොමුකිරීමට බලය හිමිඋනා. මෙම කඳවුරු පවත්වාගෙන ගියේ කතෝලික පල්ලිය සහ තවත් විවිද සංවිදාන මගින්.
වික්ටෝරියා ප්‍රාන්තයේ සම්මත වුනු මෙම Aboriginal Protection පනත මඟින් සම්මත වුනු නීතිය පසුකාලීනව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි වලද ක්‍රියාත්මක උනා. මේ විදිහට ආදිවාසී දරුවන් බලහත්කාරයෙන් රැගෙන යාම ඔවුන්ව සමාජයට අනුගතකිරීමක් ලෙසට හැඳින්වුවද, ඇත්තෙන්ම එය මෙම දරුවන්ට ඉතා ඛේදනීය අත්දැකීමක් උනා. බොහෝ දරුවන් එම පුනරුත්තාපන කඳවුරු වලදී හිරිහැරයට සහ අපයෝජනයට ලක්වුනා
මෙලෙස දශක ගණනාවක් තිස්සේ පැහැරගත් දරුවන් සුදු ජාතික පාලනාධිකාරිය විසින් ඔවුනගේ වැඩ කටයුතු සඳහා දිගින් දිගටම යොදා ගැනීම සිදුවුණු නිසා, එම දරුවන්ට ඔවුනගේ ආදිවාසි සංස්කෘතිය සහ ජන කණ්ඩායම් මඟ හැරුනා.
බොහෝ දරුවන් වැඩිමහලු වූ පසුව ඔවුනට තම දෙමාපියන් හෝ ඥාති පරපුරු පිළිබඳව අවබෝධයක් තිබුනේ නැහැ. ඒ නිසා මෙලෙස ඉතා කුඩා කාලයේදී පැහැරගෙන ගොස් පුනරුත්තාපන කඳවුරු වල ඇතිදැඩි වුනු දරුවන් ගෙන් බිහිවුණු “ඇබෝරිජිනල් - බ්‍රිතාන්‍ය” මිශ්‍ර පරම්පරා, පසුකාලීනව, "සොරාගත් පරපුර" නැතහොත් Stolen Generation ලෙස හදින්වූවා.
පසුව 1969 දී මෙලෙස ආදිවාසි දරුවන් රැගෙන යාමට බලය හිමිවුණු "Aboriginal Protection" පනත, සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි විසින් ඉවත්කර ගත්තා.

එහෙත් වර්ෂ 2008 වෙනතුරු ඕස්ට්‍රේලියාවේ පවතී කිසිඳු රජයක්, මෙරට ඉතිහාසයේ සිදුවුන මෙම ඛේදනීය මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ඕස්ට්‍රේලියානු මුල්වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේ නෑ. එහෙත් වසර 2008 දී එවක පැවති ලේබර් පක්ෂ රජය මෙම ඓතිහාසික අවස්ථාවට මුල පිරුවා.
හරියටම වර්ෂ 2008 පෙබරවාරි 13 දා හිටපු ඕස්ට්‍රේලියානු අගමැති Kevin Rudd විසින් පාර්ලිමේන්තුවේ දී නිල ප්‍රකාශයක් කරමින් ආදිවාසී ජනයාගෙන් සමාව ඉල්ලා සිටියා. එවක විපක්ෂ නායක Brendan Nelson ද ආදිවාසී ජනයාගෙන් සමාව ඉල්ලා සිටියා
දශක ගණනාවක් පුරා වේදනා විඳි ආදිවාසී දරුවන්ට මෙම ප්‍රකාශය ප්‍රමාණවත් නොවුනත් එය සංහිඳියාව කරා යන ගමනට හොඳ ප්‍රවේශයක් බව බොහෝ ආදිවාසීන් පවසා සිටියා.
2024 වසරේ පෙබරවාරි 13 වනදාට සොරාගත් පරපුරෙන් සමාව ඉල්ලා සිටි National apology Day එනම් ජාතික සමාව අයැදීමේ දිනයට වසර 16ක් සපිරෙනවා.
කෙසේවුවත් ආදිවාසී ජනයාගෙන් සුදු ජාතික රජය නිලවශයෙන් සමාව ඉල්ලා සිටි පෙබරවාරි 13 දා, ආදිවාදී සහ ආදිවාසි නොවන ඕස්ට්‍රේලියානුවන් අතර සංහිඳියාව ඇතිකරලීමේ ක්‍රියාදාමයේ ඉතා වැදගත් දිනයක් ලෙස සටහන් වනවා.


