රථවාහන වැරදි 7ක අවම දඩය රුපියල් 25,000ක් දක්‌වා ඉහළ නැවීමට ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවැති රැස්‌වීමේදී එකඟතාවකට එළැඹි බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.
ඒ අනුව රුපියල් 25,000 නව දඩ මුදල අදාළ වන රථ වාහන වැරදි පහත පරිදි වේ.
- බීමත්ව රිය පැදවීම
- වලංගු රියෑදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම
- අධික වේගය
- වමෙන් ඉස්‌සර කිරීම
- අනාරක්‍ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් රිය පැදවීම
- රක්‍ෂණ ආවරණයක් නොමැතිවීම
- රියෑදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනයට ඉඩ සැලසීම
මෙම රථවාහන වැරදිවලින් මීට පෙරාතුව රු.2500ක දඩ මුදලක් නිකුත් කරනු ලැබුවේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම සඳහා පමණි.
සම්මත වේගයට වැඩියෙන් ධාවනය කිරීමේ වරදට රු.1000ක දඩයක්ද,වමෙන් ඉස්සර කිරීමේ වරදට රු.500ක්ද,අන් අය වාහනයක් පදවා වරදක් සිදුවූ විට හිමිකරුට රු.300ක දඩයක්ද ලෙස මීට පෙරාතුව දඩ මුදල් නියම කෙරුණු අතර මේ අනුව නවතම සංශෝධිත රෙගුලාසි වලට අනුව මේ එක් එක් වරදක් සඳහා රු.25,000ක් අයකරනු ලැබෙයි.
මෙම සංශෝධන අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

