SKIP TO MAIN CONTENT

මේ සතියේ ඇරඹෙන ඉන්දු - ශ්‍රී ලංකා T20 තරගාවලියට මැතිව්ස් සහ ධනංජය කැඳවයි

Mathews & Dhananjaya back for India T20Is
Source: Facebook

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මේ සති අන්තයේදී ආරම්භ වන ඉන්දු - ශ්‍රී ලංකා T20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ඇතුළත් කර තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ නව පුහුණුකරු මිකී ආතර් බව වාර්තා වේ.

කඩුලු අතර දිවයාමේ මන්දගාමී බව හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙන අවස්ථාවලදී සෙසු පිතිකරුවන් දුවද්දී දැවී යන බවට හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා චෝදනා කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට මැතිව්ස් T20 සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් වලින් ඉවත් කෙරිණි.

ඇන්ජෙලෝ මැතිව්ස් මේවන විට T20 ක්‍රිකට් තරඟ තරග 72 කට සහභාගීව ලකුණු 1055 ක් ලබා ඇත.

එසේම ටෙස්ට් පිලේ ඉදිරිපෙළ පිතිකරුවකු වන ධනංජය ද සිල්වා නැවතත් T20 කණ්ඩායමට කැඳවා ඇත්තේ පන්දු යවන්නකු වශයෙනි.

ඒ අතරම යම් හෙයකින් ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වුවහොත් අංක 7 ස්ථානයේදී ලකුණු රැස්කිරීමේ වගකීම බාරගැනීමට ද ධනංජය සිල්වා හට සිදුවෙනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත T20 ක්‍රිකට් තරඟාවලියේ පළමුවැන්න ජනවාරි 5 වැනිදා ඇසෑම් ප්‍රාන්තයේ Guwahati නුවරදී පැවැත්වේ.

දෙවැනි T20 තරගය ජනවාරි 7 වැනිදා ඉන්දෝර් නුවරදී ද තුන්වැන්න ජනවාරි 10 වැනිදා පූනේ නුවරදී ද පැවැත්වේ.

ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 27 වැනිදා තෝරා ගන්නා ලද අතර එය මේ වන විට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය වෙත යවා තිබේ.

ඒ අනුව ඉන්දීය සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now