මෙල්බන් සති අන්ත රාත්‍රී පොදු ගමනාගමන සේවා තවත් සය මසකින් දීර්ඝ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. මෙම වැඩ පිළිවෙල මාස 12ක කාලයකට අත් හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූයේ 2015 වසරේදී ප්‍රාන්ත රජය ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙනි. සති අන්ත රාත්‍රී පොදු ගමනාගමන සේවා මහජනතාව අතර ඉමහත් ලෙස ජනප්‍රිය වීම මෙම දීර්ඝ කිරීමට ප්‍රධානතම හේතුව බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සෑම සති අන්තයකම දුම්රිය සේවා 300ක්, ට්‍රෑම් සේවා 250ක් සහ බස් සේවා 500කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයන් 35,000 පමණ භාවිත කර ඇති බවට ගණන් බලා තිබේ. වික්ටෝරියානු වැසියන්ගේ සති අන්ත රාත්‍රී පොදු ගමනාගමන සේවා වල අවශ්‍යතාව මෙමගින් කදිමව නිරූපණය වන බවත් ව්‍යාපෘතියේ මුල්ම අදියරේ ප්‍රතිපල ඉතාම දිරිගන්වන සුළු බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Daniel Andrews පැවසුවේය. සති අන්ත රාත්‍රී ගමනාගමන සේවා භාවිත කළ පුද්ගලයන් 35,000න් 1/5 ක්ම තම සේවා සඳහා පැමිණීමට හා ආපසු යාමට මෙම රාත්‍රී ගමනාගමන කටයුතු භාවිත කළ බව අනාවරණය වී තිබේ. මෙමගින් මෙල්බන් නගරය පැය 24 පුරාවටම නොනිදන නගරයක් ලෙස පවත්වා ගැනීමට හැකිවනු ඇති බවද ප්‍රධාන අමාත්‍ය Daniel Andrews පවසයි. රාත්‍රී කාලයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් මෙම සේවාව දිගින් දිගටම පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතියේ සය මාසික දීර්ඝ කෙරුමට ඩොලර් මිලයන 38.7ක් වැයවන බවද ඇස්තමේන්තු කර ඇත. ප්‍රාන්ත රජයට මෙම ව්‍යාපෘතිය පිළිබඳ නියත අදහසක් ලබාගැනීම සහ උත්සව සංවිධායකයන් දිරි ගැන්වීම මෙම කාර්යය සය මසකින් දීර්ඝ කිරීමට තවත් හේතු ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රවාහන අමාත්‍යවරිය වන Jacinta Allan ප්‍රකාශ කර තිබේ.
ඇය වැඩි දුරටත් පැවසුවේ මෙල්බන් යනු වසර පුරාවටම එක් එක් උත්සව පවත්වන, සංවිධානය කරන නගරයක් බවත් මෙල්බන් නගරය පැය 24 පුරා ක්‍රියාත්මක නොනිදන නගරයක් කරා ගමන් කරන බවත්ය.
“අපිට අවශ්‍ය අවුරුද්දේ ඍතු හතරේම මෙම රාත්‍රී ගමන් සේවා භාවිත කරන අයුරු බලා ගන්න. විශේෂයෙන්ම වසන්ත සහ ගිම්හාන කාලවල. ෆුටි අවසන් තරග, Spring Racing carnival තවත් උත්සව රාශියක් මෙම කාල වකවානුවේදී මෙල්බන් නුවර පැවැත්වෙනවා.” වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රවාහන අමාත්‍යවරිය Jacinta Allan තව දුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියාය.
AFL ප්‍රධාන විධායක Gillon McLachlan පවසන්නේ මෙම තීරණය ෆුටි ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ටද සුබ පණිවිඩයක් බවයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන පොදු ගමනා ගමන සැලැස්ම
- සෑම පැයකට වරක්ම Flinders Street දුම්රිය ස්ථානයෙන් සියලු මාර්ග සඳහා දුම්රිය පිටත් වේ.
- අංක 19, 67, 75, 86, 96, සහ 109 යන මාර්ගයන්හි සෑම මිනිත්තු 30කට වරක්ම ට්‍රෑම් සේවාවන් ක්‍රියාත්මක වේ.
- Bendigo, Ballarat, Traralgon සහ Geelong වෙත අලුයම 2ට Southern Cross දුම්රිය ස්ථානයෙන් V/Line දුම්රිය පිටත් වේ.

