ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 77 කි.
ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය අවසන් කරමින් අධිරාජ්‍යවාදීන්ට නතුවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ අප මාතෘ භුමිය වන ශ්‍රී ලංකාව, අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීම දක්වා වූ ඒ ගමන් මගේ වැදගත් සංධිස්ථාන මෙම ලිපියෙන් සැකෙවින් දිගහැරේ.
Highlights
- වර්ෂ 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදා ඇතුළු කණ්ඩායම කුණාටුවකට හසුවී අහම්බෙන් ශ්‍රී ලංකාවේ ගාලු වාරයට සේන්දු විය.
- වසර 1639දී ලන්දේසින් මහනුවර පලමු රාජසිංහ රජු සමග ගිවිසුමකට අත්සන් තැබීය.
- 1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් කරනු ලැබූ උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පාලනය ඉංග්‍රීසින් සතු විය.
පෘතුගීසීන්ගේ ආක්‍රමණය
පුරාතනයේ පටන් ශ්‍රී ලංකාවට විවිධ විදේශ ආක්‍රමණ පැමිණි බව ඉතිහාස සටහන් සාක්ෂි සපයයි.
නමුත් ඒ සෑම ආක්‍රමණයක්ම පෙරළා ජයගැනීමට එවකට සිටි රජ දරුවන් සමත් විය.
රාජාණ්ඩු ක්‍රමයක් මුල්කොටගෙන පැවති ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමයට බරපතල ලෙස බලපෑ ප්‍රථම විදෙස් ආක්‍රමණය සිදුවූයේ වර්ෂ 1505 දීය.
වර්ෂ 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදා ඇතුළු කණ්ඩායම කුණාටුවකට හසුවී අහම්බෙන් ශ්‍රී ලංකාවේ ගාලු වාරයට සේන්දු වීමෙන් පසුව ලංකාව පෘතුගීසීන්ගේ පාලනයට නතුවිය.

එකල ලංකාව කෝට්ටේ, සීතාවක, මහනුවර, යාපනය ලෙස රාජධානි හතරකට බෙදා පාලනය සිදු වූ බව පොත් පත්වල සඳහන් වේ.
පෘතුගීසින් කෝට්ටේ සිටි බුවනෙකබාහු රජු සමග ගිවිසුමක් අත්සන් කළ අතර ඔවුන්ගේ පැමිණීමත් සමග ලංකාවේ එතෙක් පැවති රාජාණ්ඩු පාලනය අඩාල විය.
ඔවුන්ගේ සිරිත් විරිත්, සංස්කෘතිය මෙන්ම ක්‍රිස්තියානි ආගමද ඉතාමත් ඉක්මනින් ලංකාව පුරා ව්‍යාප්ත විය.
ලංකාවේ අගනගරය කෝට්ටේ වෙනුවට කොළඹ පත්වූයේ ද මෙම කාලවකවානුවේදීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38 or, 305
ලංකාව පෘතුගීසීන්ගේ පාලනයට නතුවූ කාලයේ විටින් විට හෙළයින් විසින් පෘතුගීසීන්ට එරෙහිව සටන් වැදුණු බව ඉතිහාස පුවත් පවසයි.
එම සටන් අතරින් වර්ෂ 1562 දී හටගත් මුල්ලේරියා සටන පළමු මහා සටන ලෙස හැඳින්වේ.
ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයිනට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි.
එකල මහ සඟ රුවනක් වූ 'බුද්ධ වංශ' තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙන් නොසිතූ මොහොතක සිංහල ලේ කුපිත විය.
ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු ප්‍රමුඛ හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කළ බව පැවසේ.
ඉන් අනතුරුව පෘතුගීසි හමුදා වලට එරෙහිව නැවතත් සිංහලයා මහා සටනක් දියත් කළේ වර්ෂ 1594 දීය.
දන්තුරේ සටන නමින් හැඳින්වෙන එය ලක්දිව මහා සටන් අතර අදටත් ප්‍රචලිතය.
ඉන් අනතුරුව වර්ෂ 1603 දී බලන සටනද වර්ෂ 1630 දී රන්දෙනිවල සටන ද පෘතුගීසීන්ගේ පාලනයට එරෙහිව සිංහලයා අතින් ක්‍රියාත්මක විය.
පෘතුගීසීන්ට එරෙහිව සිංහලයා මෙහෙයවූ අවසන් මහා සටන ලෙස සැලකෙන්නේ වර්ෂ 1638 දී ඇතිකරගත් ගන්නොරුව සටනය.

ලන්දේසීන් ගේ පැමිණීම
වර්ෂ 1602 දී පමණ ලන්දේසින් ලක්දිව වෙරළ බඩ තීරයට පැමිණි නමුත් එතෙක් ලක්දිව වෙරළ බඩ තීරය පාලනය කරනු ලැබුවේ පෘතිගීසින් විසිනි.
එතැන් පටන් ලන්දේසින් ඉතා සූක්ෂමව ලක්දිව වෙරළ බඩ තීරය ආක්‍රමණය කරන්නට වූ අතර මේ කාලයේදී පෘතුගීසි පාලනය එපාවීම නිසා ලංකාව ලන්දේසීන්ගේ සහය අපේක්ෂා කරමින් සිටියේය.
එහි ප්‍රතිඵලයක් ලෙස 1639දී ලන්දේසින් මහනුවර පලමු රාජසිංහ රජු සමග ගිවිසුමකට අත්සන් තැබීය. එම ගිවිසුමෙන් අනතුරුව ලක්දිව රජු ලන්දේසීන්ට ත්‍රිකුණාමලය කොටුවේ බලය පැවරීය.
ඉන්පසු ලන්දේසීන් ඔවුන්ගේ බලය දිවයිනේ මුහුදුබඩ පළාත්වල ව්‍යාප්ත කල අතර ක්‍රමයෙන් ලන්දේසීන්ගේ ආගම, නීතිය,සංස්කෘතිය යන සෑම දෙයක්ම ලංකාවේ ජන සමාජයට කාන්දු විය.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
එහි ප්‍රතිඵලයක් ලෙස රෝම ලන්දේසි නීතිය ලංකාවට ලැබුණි.
එමෙන්ම ලන්දේසි මිශ්‍ර විවාහ මඟින් ඇති වූ 'ලන්සි' හෙවත් 'බර්ග' යන ජන කොටස් ලන්දේසි ජනපද පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය.
එමෙන්ම අර්තාපල්, ඇපෑල, බාල්කය, දුසිම, ඉස්තිරික්කය, ඉස්තෝප්පුව, කාමරය, කන්තෝරුව, කොකිස්, කෝප්පය, ඔරලෝසුව වැනි වචන රාශියක් සිංහල භාෂාවට ලන්දේසි බලපෑම නිසා එකතු විය.
![Copper engraving, 'De Stadt Colombe' [The Town of Colombo], from Dutch book c. 1775, after original engraving by Johannes Kip of c. 1680](https://images.sbs.com.au/drupal/yourlanguage/public/colombo_0.jpg?imwidth=1280)
බ්‍රිතාන්‍ය ආක්‍රමණය
වර්ෂ 1796 දී ලන්දේසීන් පරදවා ලක්‌දිව මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බලධාරීන් විසින් නතු කරගනු ලැබු අතර එම ප්‍රදේශ වර්ෂ 1802 දී බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් විය.
පෘතුගිසින් හා ලන්දේසින් දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළද 1815දි ඉංග්‍රීසින් මුළු දිවයිනම යටත් කර ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය හෙවත් රජෙකු මුල්කොටගෙන පැවති පාලන සමය අවසන් වුයේ ශ්‍රී ලංකාවේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු ලෙසට පත්වූ දින සිටය.
1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් කරනු ලැබූ උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ පාලනය ඉංග්‍රීසින් සතු විය.

වෙල්ලස්සේ කැරැල්ල
1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුන් ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් ලංකාවේ සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය.
මේ හේතුවෙන් වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට පටන් ගත්තේය.
ඉංග්‍රීසින්ට විරුද්ධවූ දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූ අතර බූටෑවේ රටේ රාල ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් විය..
ඒ අතර තුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන් අතින් මරුමුවට පත්වීමත් සමග වෙල්ලස්සේ සටන ඇවිලෙන්නට විය.
එහිදී එම කැරැල්ල මැඩපැවැත්වීමට ඉංග්‍රීසින් සිංහලයෙකු ප්‍රමුඛ ඉංග්‍රීසි හමුදාක් එවීමට කටයුතු කළේය.
ඒ අන් කවරෙක්වත් නොව මොණරවිල කැප්පෙටිපොල වීරයාය.
කැප්පෙටිපොල දිසාවේ හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයිනගේ කැරැල්ලට එක් විණි.
සිංහල සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග‍්‍රීසි හමුදාවන් වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට වුණා, වතුපිටි, ඉඩකඩම් කොල්ල කන්නට විය.
සිවිල් ජනයා නිකරුණේ මරු වැළද ගනු දුටු කැරැල්ලේ සිංහල නායකයිනට සිදුවූයේ සටන අත්හැර දැමීමටය.
එනිසා සිංහල හමුදාව සටන් ලිහිල් කරන්නට වුණි.
ඒ අතරේ කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය.
1818 නොවැම්බර් 2වන දින බෝගම්බර පිටියේදී කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන් කිරීමට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් කටයුතු කළ අතර සිංහල ජාතියේම නෙත් අග කදුළු පුරවමින් උදාරතර ජාතික වීරයකු එසේ දැයෙන් සමුගනු ලැබුවේය.
වෙල්ලස්සේ කැරැල්ලට පසුව ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැගුනු අවසන් කැරැල්ල වුයේ 1848 දී ඇතිවූ මාතලේ සටනයි.
ගොංගාලේගොඩ බණ්ඩා මාතලේ කැරැල්ලට නායකත්වය ලබාදුන් අතර වීර පුරන් අප්පුද එයට එකතු විය.
දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල ප්‍රදේශ තුල දරුණු සටන් ඇති වුණි.
ඉංග්‍රීසි හමුදාවෝ දහස් ගාණනක් මැරුම් කෑ අතර කුරුණෑගල සිරගේ ද සිංහල හමුදාව විසින් බිඳ දැම්මේය.
1848 වන විට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාව සිටි ටොරිංටන් සාමිවරයා මේ හේතුවෙන් අන්ත අසරණ විය.
අවසානයේදී ඔහු යුධ නීතිය ක්‍රියාත්මක කළේය.
මාතලේ කැරැල්ලට උපකාර කළ කුඩාපොල හිමියන් 1848 අගෝස්තු 26වැනි දින මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරන ඉංග්‍රීසි හමුදාවෝ 1848 අගෝස්තු 29වැනි දින පුරන් අප්පු වීරයාවත් ඩිංගිරාළ වීරයාවත් වෙඩි තබා ඝාතනය කරමින් මාතලේ සටන තිඹිරි ගෙයිම මිහිදන් කරනු ලැබුවේය..
ඉන් අනතුරුව ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ නැවතත් පීඩාවන් මැද ලාංකිකයින්ට දිවි ගෙවන්නට සිදුවුණි.

ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ඉල්ලා උද්ඝෝෂණ
ඒ අතරේ ඉංග්‍රීසි පාලනය වෙනස් කිරීමේ අරමුණින් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ඉල්ලා විවිධ උද්ඝෝෂණ කරන්නට ලාංකික ජනතාව පෙළඹුණි.
ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ කරුණු විමසූ ඩොනමෝර් කොමිසම විසින් සර්වජන ඡන්ද බලයත් එසේ ඡන්ද බලයෙන් තේරී පත් වූවන් හත් දෙනෙකුට අමාත්‍ය පදවි දරමින් රාජ්‍ය පාලනයේ සෑහෙන කොටසක වගකීම් දැරිය හැකි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් හඳුන්වා දුන්නේය.
1944 වසරේ දී මෙරට පැමිණි සෝල්බරි කොමිසමේ සාමාජිකයන් 1945 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට සෝල්බරි කොමිසමේ වාර්තාව ප‍්‍රකාශයට පත් කළේය.
රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල ලාංකිකයන්ට පැවරීම පිළිබඳව එහි සඳහන්ව තිබුණ අතර 1947 වසරේ දී මැතිවරණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ විය.
නමුත් ලංකාවට නිදහස ප්‍රදානය කිරීමක් පිළිබඳව එහි සඳහන් නොවේ.
මැතිවරණයට ප්‍රථම ඩී.එස් සේනානායක ඇතුළු තවත් සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් ලංකාවට නිදහස ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කළේය.
ඉන්දියාවේ ගාන්ධි සහ නේරු ගෙන ගිය “උද්ඝෝෂණවාදී” හා ජනතාව අරගලයකට යොමු කරවන පිළිවෙත අනුගමනය නොකිරීමට ඩී. එස්. සේනානායකයන් හිතාමතා පියවර ගත් බව සඳහන්.

කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබා දීමට කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය කිරීටය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.
1947 වසරේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ලංකා දමිළ කොංග්‍රසය එකතුව ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.
යුද්ධ කටයතුවල දී මෙරට භූමිය භාවිත කිරීමේ බලය බ්‍රිතාන්‍යට හිමිවීම හා තවත් කරුණු කිහිපයක් අඩංගු ලංකා ස්වාධීනතා පනත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්තේය.
ඒ 1947 දෙසැම්බර් 03 වැනි දා ය.
එම පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥාව 1947 දෙසැම්බර් 19 දින නිකුත් කෙරිණි.
ඒ අනුව ලංකාවට නිදහස හිමිවෙන අතර එය පෙබරවාරි මස 4 වන දා ප්‍රකාශයට පත්කර සැමරීම සඳහා තීරණය විය.

යටත් විජිතයට නිදහස ලැබීම
වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට හිරු නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගය.
ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවර්තුමා බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සම්බන්ධතා කාර්යාලයේ පාර්ලිමේන්තු ලේකම් තැන්පත් “පැට්රික් ගෝඩන් වෝකර්” මහතා සහ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ එම ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශ කෙරුණු අතර එම වසරේ පෙබරවාරි 10, 11, 12 යන දිනයන් ද රජයේ නිවාඩු දින කරනු ලැබිණි.
එමෙන්ම පෙබරවාරි 4 සිට 14 දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධානය කෙරුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මත සිංහ කොඩිය ලෙළ දුන් අතර අනෙකුත් රාජ්‍ය ආයතන වලද එතෙක් පැවැති ඉංග්‍රීසි කොඩි වෙනුවට සිංහ කොඩි එසවිණි.
1948 පෙබරවාරි 12 වැනි දින මහනුවර පැවැත්වූ නිදහස් උත්සවය නිදහස් උත්සව මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් සනිටුහන් විය.
වසර 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී පහත හෙළන ලද සිංහල ජාතික කොඩිය නිදහස් ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.එස්. සේනානායක මහතා විසින් යළිත් එම ස්ථානයේදී ම එසැවීම එම සුවිශේෂී සිදුවීමය.
_________________________________________________________________________________________________
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS South Asian)
ගුවන් විදුලියෙන්
93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS
* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala

