පසුගියදා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ "The Indian Express" පුවත් පතේ Arun Janardhanan සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවේ සිංහල පරිවර්තනය.
ඉන්දියාවේ මෝදී රජයේ නිලධාරීන් ශ්‍රී ලංකාව දෙස බලන්නේ වෙනස් ආකාරයකට බවත්, ඔවුන් නිවැරදි අයුරින් ශ්‍රී ලංකාව තේරුම් අරගෙන නොමැති බවත් හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපතිධුර අපේක්ෂකයෙකු වීමට ඉඩ ඇති බවට අනුමාන කරන "The Indian Express" පුවත් පත සමග සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
යුද්ධය සමයේ ඉන්දියාව ශ්‍රී ලංකාවට උදවු කලා. නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාවට ද්‍රෝහී වෙමින් චීනයට ලං වෙමින් සිටිනවා?
ඔබ හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශකයෙකු වන ශිවශංකර් මෙනන්ගේ "Choices — Inside the making of India’s foreign policy" නම් පොත කියවලා තිබේ නම්, එහි සදහන් වනවා, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කාරණා පිලිබදව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඒ සම්බන්දයෙන් සහතිකයක් ලබාදී ඇති බව එහි සදහන් වනවා. අපේ රජය ඉන්දියාවට තර්ජනයක් වන කිසිදු රටකට ශ්‍රී ලංකාවේ භූමිය යොදා ගන්න ඉඩ දුන්නේ නැහැ. රාජතාන්ත්‍රික සබදතා වලදී සිදුවන සංවාද සහ අනෝන්‍ය අවබෝධය ඉතා වැදගත් කාරණයක්. ඉන්දියාව ශ්‍රී ලංකාව සමග පවත්වන සබදතා වලදී පවතින චීන භීතිකාවෙන් (China phobia) මිදිය යුතුයි.
ඉන්දියාව මෙහිදී සිතන ආකාරය, ඔබගේ ක්‍රියාකලාපයේ වෙනසක් ඇති කරන්න බලපෑවේ නැද්ද ?
ඉන්දියාවේ කොංග්‍රස් රජය සමග අපේ හොඳ සබදතාවයක් තිබුනා. විශේෂයෙන් ඒ රජයේ නිලධාරීන් සමග. විශේෂයෙන් LTTE සංවිධානය පරාජයට පත් කිරීමේදී ඔවුන්ගේ පුර්ණ සහාය අපිට ලැබුණා . නමුත් නරේන්ද්‍ර මෝදිගේ රජය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වෙනස් ආකාරයකට. ඔවුන් නිවැරදිව ශ්‍රී ලංකාව තේරුම් ගෙන නැහැ. ශ්‍රී ලංකා වාරයේ නවතා තිබු සබ්මැරින් පිලිබදව නිවැරදි තොරතුරු ඔවුන් දන්නේ නැහැ. ඉන්දීය මාධ්‍ය මෙහිදී ක්‍රියා කල ආකාරයත් වැරදි බව කිව යුතුයි. ඉන්දීය බලධාරීන් මේ පිලිබදව අප සමග සාකච්චා කල යුතුව තිබුණා.
මෙහිදී ශ්‍රී ලංකාව පැත්තෙනුත්, අපිටත් ගැටලු තිබුණා, ඉන්දිරා ගාන්ධි LTTE සාමාජිකයින් පුහුණු කරන්න අනුබල දුන් බවට ශ්‍රී ලාංකිකයින් තුල මතයක් තිබු නිසා, ඉන්දීය විරෝධී ආකල්පයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගී තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකවේ අභ්‍යන්තර කටයුතු වලට ඉන්දියාවේ අනවශ්‍ය මැදිහත් වීම් ඇති බවට මතයක් ශ්‍රී ලාංකිකයින් තුල ගොඩනැගී තිබෙනවා. උදාහරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය (මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වූ) පිලිබදව ඔවුන් තුල එවැනි අදහසක් ඇති බව කිව යුතුයි. ඉන්දීය රජය මෙහිදී කලබල වී කටයුතු කරන්නේ නැතිව තත්වය අධ්‍යනය කර කටයුතු කල යුතුයි.
ඔබ ඉන්දියාව සමගින් සබදතා පවත්වනවාද?
නැහැ ඔවුන් අප සමග කතා කරන්නේ නැහැ. (සිනහවෙමින් ). ඒක තමයි අනෙක් ගැටලුව. අපේ කාලයේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විපක්ෂයේ නායකයින් හමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පමණක් නොවෙයි අමුත්තන් පවා හමුවුනේ විපක්ෂයේ සාමාජිකයින්. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පවා අපව හමුවෙන්න බියක් ඇති බව කිව යුතුයි. මම දන්නේ නැහැ ඇයි කියල. ශ්‍රී ලංකා රජය පාවා කැමති නැහැ ඔවුන් අපිව හමුවෙනවට.
ඔබ හිතනවද යුද්ධය නිමාවට පත් වී දශකයක් ගෙවී ගොස් ඇති මේ මොහොත වන විට, සාමය උදා වී තිබෙනවා කියල ?
යුද්ධය වසර 30කට ආසන්න කාලයක් පැවතුනා. මම හිතනවා යුද්ධයෙන් පසුව සිදුවූ සංවර්ධනය, යුද්ධය ජයග්‍රහණය කලාට වඩා විශාල ජයග්‍රහණයක් කියලා . මේ කාරණය ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව හදුනාගෙන නැහැ. 2009 සිට 2014 දක්වා වූ කෙටි කාලය තුල අප ලඟා කරගත් සාර්ථකත්වය අති විශාලයි. පසුතල පහසුකම් සංවර්ධනය වගේම දේශපාලනික වශයෙන්. 1998 පළාත් සභා ක්‍රමය හදුන්වා දුන්නා, 2013 යුද්ධයෙන් පසු උතුරු ප්‍රදේශයේ මැතිවරණය පැවැත්වුණා . එය සාධාරණ නිදහස් මැතිවරණයක්.
LTTE සංවිධානයට හිතවත් පක්ෂපාතී කණ්ඩායම් කීපයක් එවකට සිටියා. EPDP (Eelam People’s Democratic Party), කරුණා (LTTE සංවිධානයේ හිටපු කමාන්ඩර් කරුණා අම්මාන් )… අපි මැතිවරණයට පෙර ඔවුන් නිරායුධ කලා. අපි එසේ නොකලා නම් දෙමළ ජාතික සන්ධානයට බලයට පත්වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාට දිගටම බලයේ රැදී ඉන්න අවස්ථාව තිබුණා. අපට අවශ්‍ය වුනේ සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක්. අපි දැනගෙන සිටියා අපි පරාජයට පත්වෙන බව. නමුත් අපි ඔවුන්ට අවස්ථාව ලබාදුන්නා ඔවුන්ට අවශ්‍ය අයව තෝරා පත් කරගන්නට.
2013 වසරේ අග වන විට ඉඩම් වලින් සියයට 90ක් මහජනතාවට නැවතත් ලබාදීමට කටයුතු කලා. මහාමාර්ග ඉදිකිරීම , දුම්රිය මාර්ග ඉදිකිරීම් සහ විදුලි බලය ලබාදීම වැනි දැවැන්ත සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කලා. ඒ වගේම යටත් වුනු ත්‍රස්තවාදී සාමාජිකයින් සිල්ලම පාහේ අපි පුනරුත්ථාපනය කලා.
ඔබ මෙහිදී තේරුම් ගන්න ඕනේ දශක තුනක් තිස්සේ පැවති යුද්ධයක් නිමාවට පත්වීමෙන් පසු එක රාත්‍රියකින් සාමය උදා කරන්න බැහැ.මෙහිදී පිරිසක් හිටියා පැරණි අදහස් අත් හැර අලුත් අදහස් භාර ගැනීමට නොහැකි අයුරින් ඔවුන්ගේ මනස විකෘති කල (brainwashed). මට කියන්න බැහැ දැන් තත්වය යහපත් අතට හැරෙමින් පවතිනවද කියල, මොකද මම දන්නේ නැහැ පහුගිය වසර තුනක කාලය තුල මොකද උනේ කියල. නමුත් මම දැඩි ලෙස විශ්වාශ කරන කාරණයක් තමයි, ජනතාවට දේශපලනික නිදහසට පෙර ආර්ථික නිදහසක් අවශ්‍ය බව. ජනතාවට ඔවුන්ගේ ජීවිත ඉදිරියට ගෙනයාමට ආහාර , රැකියා ආදී අත්‍යාවශය කාරණා සපුරා ගත යුතුයි. නමුත් දමිල දේශපාලකයින් මේ අත්‍යාවශය කාරණා වෙනුවට ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා ඉදිරියෙන් තබා ගෙන කටයුතු කලා.
ඔබ බලයට පැමිණියහොත් මේ කාරණා ප්‍රමුඛතා බවට පත්වෙනවද ?
ඔව්. අපි සිදු කරමින් සිටි වැඩ පිළිවෙල ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට අවස්ථාවන් ලබාදෙමින්, රටේ අනෙක් අයට සමාන බව ඔවුන්ට හැගෙන ආකාරයේ වටපිටාවක් ගොඩනගන්නට කටයුතු කරනවා.
ඔබගේ රජය සමයේ සාපේක්ෂව ස්ථාවර ලෙස රජය පවත්වාගෙන යාම පිටුපස ඇති රහස කුමක්ද? ඔබ සහ ඔබේ සහෝදරයින් (බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ) අතර කතා බහ සිදු වුනේ මොන ආකාරයෙන්ද ?
අපි සැම විටම කණ්ඩායමක් ලෙස කටයුතු කලා . අපි රට ගැන හිතුවා. යුද්ධය සමයේ අපි අතර සම්බන්දතාවය වැඩි වශයෙන් පැවතුන බව සදහන් කල යුතුයි.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අපි එකමුතුයි. ඒ එකමුතු බව තමයි අපේ ශක්තිය. එය අපට කියා දුන්නේ අපගේ පියා ( D A රාජපක්ෂ මහතා ). මම හිතන්නේ එය සෑම රටකටම පොදු කාරණයක්. යම් රටක් ජාතීන් අනුව ආගම් අනුව බෙදී කටයුතු කලොත් පිට රට වලට එවැනි රටවලට බලපෑම් කරන්න පහසුයි.
බොහෝ දෙනෙක් විශ්වාශ කරනවා ඔබේ අත්වල ලේ තැවරී ඇති බව. ආරක්ෂක ලේඛම් ලෙස ඔබ LTTE සංවිධානය පරාජයට පත් කලා, ඒ වගේම ඔබ දහස් ගණනක් සාමාන්‍ය ජනතාව මරා දැමු බවටත් ඔබට චෝදනා තිබෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ ? මෙය කොහොමද ඔබේ සාමාන්‍ය ජිවිතයට බලපෑවේ ? ඔබ නිදි නැති රාත්‍රීන් ගත කලාද මේ ගැන සිතමින් ?
මම දන්නවා මම වැරදි දෙයක් නොකළ බව. මම ගත් තීරණ නිවැරදියි. මම කටයුතු කලේ මගේ හෘදය සාක්ෂියට අනුවයි. ඔබ මෙහිදී සාමාන්‍ය ජනතාව මරා දැමීම පිලිබදව විමසුවා, යුද්ධය කියන්නේ සුමට කාරණයක් නොවෙයි. එය පවතින්නේ ශ්‍රී ලංකාවේ, ඇෆ්ගනිස්ථානයේ, ඉන්දියාවේ, පාකිස්ථානයේ හෝ ඉරාකයේ වෙන්න පුලුවන්. එය යහපත් තත්වයක් නොවෙයි. මම නෙවෙයි යුද්ධය නිර්මාණය කලේ. මම කලේ එය නිමාවට පත් කරපු එක. අපේ රට LTTE සංවිධානයෙන් තොර රටක් වීම ඉතා යහපත් කාරණයක්. වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට යාපනයේ ගොස් නිදහසේ කතා කල හැකියි. අද එය නිදහස් රටක්.
යුධ හමුදා සාමාජිකයින්ට අමතරව සාමාන්‍ය ජනතාවත් ත්‍රස්තවාදය නිසා ජිවිතක්ෂයට පත් වුණා. බෝම්බ හදුනන්නේ නැහැ එය මිතුරෙක්ද සතුරෙක්ද යන වග , එය දන්නේ නැහැ එය සාමාන්‍ය ජනජිවිතයක්ද, යුධ හමුදා වැන් රථයක්ද කියලා. ඒ නිසා මම පසු තැවෙන්නේ නැහැ. යුද්ධය පැවති සමයේත් මම හොදට නිදා ගත්තා.
යුද්ධයේ අවසන් කාල සීමාවේ LTTE සංවිධානය තත්වය සමථයකට පත් කරගන්න උත්සාහ කලාද? LTTE නායක ප්‍රභාකරන් ඔබ සමග ගනුදෙනු කිරීමට උත්සාහ කලාද ?
LTTE සංවිධානය සමග සාකච්චා පැවැත්වීම කාලය නාස්ති කිරීමක් කියලයි මම විශ්වාශ කරන්නේ. ප්‍රභාකරන්ට මට කතා කරන්න තරම් බුද්ධියක් තිබුනේ නැහැ. නමුත් බලන්න KP (LTTE සංවිධානයේ දෙවැන්නා ලෙස කටයුතු කල කුමාරන් පද්මනාදන් ). ඔහු විදෙස් රටක සිට ලංකාවට රැගෙන එන විට ඔහු සිටියේ ඉතා භීතියට පත්ව සිටියා. ඔහු හිතුවේ එය ඔහුගේ අවසානය කියලා. නමුත් අපි ඔහුගේ අතීතයේ වැරදි තේරුම් ගත්තා. ඔහුට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්නට අපි අවස්ථාව උදා කරදුන්නා . ඔහුව පුනරුත්ථාපනය කිරීම ඉතා විශිෂ්ඨ කාරණයක්.
Share

