මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (ඔක්තෝබර් 16) පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නැමීබියාව ලකුණු 55 ක ජයක් අත්කරගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවේ Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට නැමීබියාවට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තේය.
නැමීබියානු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 35 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
නැමීබියාවේ සිව්වන කඩුල්ල ලකුණු 76 දීත් පස්වන කඩුල්ල ලකුණු 91 දීත් 6 වන කඩුල්ල ලකුණු 93 දීත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් අනතුරුව 7 වන කඩුල්ල සඳහා නැමීබියානු ක්‍රීඩකයෝ ලකුණු 70 ක අගනා සම්බන්ධතාවක් පවත්වාගනිමින් ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 163 දක්වා ඉහළට ඔසවා තැබුහ.
ජයග්‍රාහී ලකුණු 164 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108 කට දවා ගැනීමට නැමීබියානු පන්දු යවන්නෝ සමත් වුහ.
ශ්‍රී ලංකාවේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 21 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන් වී තිබියදී දවා ගැනීමට ඔවුහු සමත් වූහ.
දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා පිලට යම් ස්ථාවරයක් ගෙන දීමට සමත් වූ නමුත් පස්වන කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු ලෙස සිටි වනිඳු හසරංග, දසුන් ශානක සහ චාමික කරුණාරත්න ද මුළු ලකුණු 92 ක්ව තිබියදී දැවී ගියෝය.

ශ්‍රී ලංකාවේ වැරදි ගැන නායක දසුන්ගේ අදහස්
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද තරගයේදී එතරම් දක්ෂ ලෙස සහ සැලසුම් කළ පරිදි පන්දු නොයැවූ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
නැමීබියානු පන්දු යවන්නෝ සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ එල්ලය නිවැරදි මට්ටමේ නොතිබූ බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ලකුණු 163 හඹා යාමට අපහසු ඉලක්කයක් නොවන බවත් පළමු පිතිකරුවන් සිව් දෙනාගෙන් අපක්ෂිත ලකුණු සංඛ්‍යාවක් නොලැබුණු හෙයින් 163 අසීරු ඉලක්කයක් බවට පත්වූ බවත් SBS සිංහල ගුවන් විදුලිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ඒ අනුව මේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මෙන්ම පිතිකරුවෝ ද එක ලෙස අසාර්ථක වූ බව ඔහු සඳහන් කළේය.
කෙසේහෝ, මීළඟ තරග ද්විත්වය ජයගැනීම උදෙසා අද තරගයේ සිදුවූ අඩුපාඩු හඳුනාගෙන කටයුතු කරන බවද දසුන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්
මෙම තරගය නැරඹීමට පන්දහස ඉක්මවූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබු බව වාර්තා වේ.
බාල, තරුණ, වැඩිහිටි සියලු වයස් ඛාණ්ඩවල පිරිස් මේ තරගය නැරඹීමට පැමිණ තිබූ අතර ඇතැම් ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවේ සිට විශේෂයෙන්ම මේ සඳහා පැමිණ තිබුණු බව SBS සිංහල ගුවන් විදුලියට දැනගන්නට ලැබුණි.
ඒ අතරින් Sri Lanka Super Fan හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි ප්‍රේක්ෂකයා ලෙස හැඳින්වෙන ගයාන් සේනානායක ද අපට දැකගත හැකිවිය.
මෙම තරගය ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාව ජයගනු ඇතැයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පළමුව සිතුවද ශ්‍රී ලංකාව ලද අනපේක්ෂිත පරාජය හමුවේ ලාංකික ප්‍රේක්ෂකයෝ දුක් මුසු මුහුණු වලින් ක්‍රීඩාංගණයෙන් පිටව ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග වදින ඕනෑම තරගයකදී නැතුවම බැරි පපරේ සංගීතය සපයන මෙල්බර්න් පපරේ සංගීත කණ්ඩායම ද අද තරගය සඳහා සහභාගී වී සිය පපරේ සංගීතය පිටිය පුරා පතුරුවා හැරියේය.

Kardinia Park ක්‍රීඩාංගණය
Kardinia Park ක්‍රීඩාංගණය මෙවර AFL ශූරයින් වූ Geelong කණ්ඩායමේ සහ A-League ක්‍රීඩා සමාජයක් වන Western United හි මව් ක්‍රීඩාංගණය වේ.
මෙම ක්‍රීඩාංගණයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාව 36,000 වන අතර එය ප්‍රාදේශීය කලාපීය නගරයක පිහිටි විශාලතම ප්‍රේක්ෂක ධාරිතාවයෙන් යුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගනය බවද හැඳින්වේ.
මෙහි පැවති පළමු ජාත්‍යන්තර T20 තරගය 2017 පෙබරවාරි 19 දින ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්විණි.

