ඕස්ට්‍රේලියානු බැංකු පිළිබද සොයාබැලීමට කොමිසමක් පත් කල යුතු බවට තමන්ද විශ්වාශ කරන බව Nationals පක්ෂයේ සෙනෙට් සභිකයින් කීප දෙනෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ලිබරල් Nationals පක්ෂයේ සෙනෙට් සභික Barry O'Sullivan විසින් මේ සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු විසින් එම යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, මේ සතියේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අවධානය සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව සදහා යොමු වී ඇති නිසා සෙනෙට් සභික Barry O'Sullivan ගේ යෝජනාවට බොහෝ විට මේ සතියේ අවස්ථාව හිමි නොවනු ඇති බව සදහන්.
එමෙන්ම මෙම යෝජනාව සහාය දක්වන පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ වැඩි වීමක්ද දක්නට ලැබෙන අතර, ලිබරල් Nationals පක්ෂයේ සෙනෙට් සභික Llew O'Brien ද මේ සදහා සහාය දක්වන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. බැංකු සහ මුල්‍ය සමාගම් පිලිබදව සොයා බැලීමට යෝජනා කර ඇති මෙම විමර්ශනයේදී මානසික සෞඛ්‍යය ගැටළු හේතුවෙන් පීඩා විදින අය මුල්‍ය ආයතන හමුවේ මුහුණ දෙන දුෂ්කරතා පිළිබදවද සොයා බලන ලෙස Llew O'Brien මහතා යෝජනා කර තිබේ. වාර්තා වලට අනුව සියයට 45ක් ඕස්ට්‍රේලියානුවන් යම් ආකාරයක මානසික ගැටලුවකින් පීඩා විදින අතර, එම තත්වය පදනම් කරගෙන රක්ෂණ සමාගම් ඔවුන් වෙනස්කම් වලට භාජනය කරන අවස්ථාවන් බහුල බවත් එය ඕස්ට්‍රේලියානු ජන සමාජයට දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් බවත් සෙනෙට් සභික Llew O'Brien මහතා පෙන්වා දී ඇති වැදගත් කාරණයක්. මේ සදහා උදාහරණ රැසක්ද තමන්ට ඉදිරිපත් කල හැකි බව O'Brien මහතා වැඩි දුරටත් සදහන් කරයි. පශ්චාත් ප්‍රසව ආතතිය ( post-natal depression) හේතුවෙන් කාන්තාවක් හට තම රක්ෂණ අවරණය මගින් ලැබීමට නියමිත වූ අදායම් රක්ෂණ දීමනාවක් (income protection Claim ) නොලැබී ගිය අවස්ථාවක් ඔහු මෙහිදී එක් උදාහරණයක් වශයෙන් පෙන්වා දී තිබිණි. තමන් පෞද්ගලිකව මෙවැනි අපහසුතාවයන්ට මුහුණ දුන් පිරිස් තම ජිවිත තුල හමු වී ඇති බවත් පොලිස් නිලධාරීන් ඉන් එක් පිරිසක් බවත් සෙනෙට් සභික Llew O'Brien පෙන්වා දී තිබේ. ඉතා දරුණු රිය අනතුරු පිලිබදව සොයා බලන පොලිස් නිලධාරීන්, විවිධාකාරයේ මානසික ගැටළු වලට මුහුණ දෙන බව තමන් දැක ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
බැංකු සහ මුල්‍ය ආයතන පිලිබදව සොයා බලන්නට විමර්ශනයක් හෝ කොමිසමක් අවශ්‍ය නොවන බව ෆෙඩරල් රජයේ මතය වී ඇති අතර සෙනෙට් සභික Barry O'Sullivan ගේ යෝජනාවට රජය මෙතෙක් කිසිදු එකගතාවයක් පල කර නොමැති බව සදහන්.
කැබිනට් අමාත්‍ය Nationals පක්ෂ සාමාජික Matt Canavan මහතා පවසන්නේ සභාග රජය බැංකු පිලිබදව සොයාබැලීමට මීට පෙර විමර්ශයක් කල නමුත්, තම පක්ෂයේ සෙනෙට් සභිකයෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවටද ඇහුම් කන් දීමට තමන් සුදානම් බවයි. නියෝජය අමාත්‍ය James McGrath පවසන්නේද Nationals පක්ෂ සාමාජිකයින්ට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවයි. දැනට මේ සදහා රජය විරුද්ධ බව ප්‍රකාශ කලත්, ඒ සදහා තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
බැංකු සහ මුල්‍ය ආයතන පිලිබදව සොයා බැලීමට සිදු කරන විමර්ශනයක් සදහා සහාය දක්වන බව කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය ප්‍රකාශ කර ඇති නිසාවෙන් සෙනෙට් සභික Barry O'Sullivan ගේ යෝජනාව සදහා සෙනෙට් සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාශය පල වී තිබේ. කෙසේ නමුත් පවතින වාතාවරණය මත එය එළබෙන 2018 වසර දක්වා කල් යනු ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

