ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකින ප්‍රජාව වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය ස්වේච්ඡාවෙන් කැප කල සහ තවදුරටත් කැප කරන අපූරු ශ්‍රී ලාංකිකයකු SBS සිංහල සේවයට හමුවන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ප්‍රදේශයෙන්.
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමන් අනතුරුව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලංකික ප්‍රජාව සඳහා දශක දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ දැඩි කැපකිරීමක් සිදු කරන මේ අපූරු ලාංකිකයා නමින් "නයන් පෙරේරා".
Highlights
- දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලංකික ප්‍රජාවට ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට පසුබිම සැකසීම
- දශක දෙකකට වැඩි කාලයක් ස්වේච්ඡා කටයුතු පිළිබඳව මතකය අවදි කිරීමක්
- තම ස්වේච්ඡා ගමනේ මුහුණ දුන් අභියෝග
- ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන්
- ඔස්ට්‍රේලියාව තුල ශ්‍රී ලාංකික අනන්‍යතාවය සනිටුහන් කිරීමේ වැදගත්කම
දකුණු ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාරවරයා අතින් ප්‍රධානය කරන "South Australian Governor’s Multicultural Award" හි ස්වේච්ඡා කටයුතු සඳහා දායකත්වය ලබාදීම යන අංශය යටතේ පසුගියදා නයන් පෙරේරා පිදුම් ලැබුවේ, තම ජීවිතයෙන් දශක දෙකකටත් වඩා වැඩි කලක් සිදු කල ස්වේච්ඡා සේවය ඕස්ට්‍රේලියාවේ ඇගයීමට පාත්‍ර වෙමින්.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලංකික ප්‍රජාවට ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට පසුබිම සැකසීම
නයන් මහතා, ඕස්ට්‍රේලියාවේ සිය ස්වේච්ඡා කටයුතු සිදු කිරීමට පෙළඹුණු අයුරු පිළිබඳව මතකය අවදි කරමින් SBS සිංහල සේවයත් සමග සඳහන් කොට සිටියේ, තමන් තම අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට මුලින්ම පැමිනෙනේ 1995 වසරේ බවයි. ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට වන අතර සිය අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව 1998 වසරේදී ඔහු දකුණු ඕස්ට්‍රේලියාවේ ග්‍රේටර් ඇඩිලේඩ් ප්‍රදේශයට සංක්‍රමණය තිබේ.

ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා කටයුතු ඇරඹීම සඳහා වූ මුලික අඩිතාලම පිළිබඳව නයන් මහතා පැවසුයේ ඒ එවකට ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඇරඹීමේ සහ ස්ථාපිත කිරීමේ කටයුතු සමග තම ගමන ඇරඹුණු බවයි.
එවකට ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Burnside හි කුඩා නිවසක පවත්වාගෙන යාම සිදු කොට තිබේ. මේ හේතුවෙන් එම විහාරය, නයන් මහතා සහ ඒ වනවිට දකුණු ඕස්ට්‍රේලියාවේ විසූ ඉතා සීමිත ලංකික පවුල් වල සාමාජිකයින් සමග Athelstone හි ස්ථිර ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු යෙදූ බව ඔහු පවසයි. මෙම විහාරස්ථානය වර්තමානය වනවිට Crafers හි නිසි පහසුකම් යටතේ පවතී.
දශක දෙකකට වැඩි කාලයක් ස්වේච්ඡා කටයුතු පිළිබඳව මතකය අවදි කිරීමක්
සිය ස්වේච්ඡා කටයුතු සිදු කල කාලය සම්බන්ධයෙන් මතකය අවදි කරමින් නයන් මහතා SBS සිංහල සේවයත් සමග මුලින්ම සඳහන් කොට සිටියේ මෙවැනි කටයුතු වලදී තමන් කිසිසේත්ම මුදල් පිළිබඳව අවධානයක් යොමු නොකළ අතර මෙය සේවාවක් පමණක් ලෙස දුටු බවයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවට තම ස්වේච්ඡා දායකත්වය ලබාදීමේ ගමනේදී, සෑම වසරකම පැවැත්වෙන 'ඇඩිලේඩ් හි සිංහල අලුත් අවුරුදු උත්සවය' ඇරඹීම සඳහා තමන් මුලික දායකත්වය දැක්වූ බව නයන් මහතා පැවසීය.
ඔහු සඳහන් කොට සිටින්නේ වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් ඇතුලු පුද්ගලයින් 1,000 ඉක්මවා සහභාගී වන ඇඩිලේඩ් හි සිංහල අලුත් අවුරුදු උත්සවය මේ වනවිට ඇඩිලේඩ් හි වෙසෙන ලාංකික ප්‍රජාව සමරන මූලිකම උත්සවය බවට පත්වී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා මුල්‍යමය සහාය දැක්වීමේ අරමුණින් ඇඩිලේඩ් හි 1996 වසරේ ඇරඹි Sri Lanka Cricket South Australia යන සංවිධානය සඳහාත්, එම සංවිධානයේ වත්මන් නියෝජ්‍ය සභාපති වශයෙන් ඔහු සෘජු දායකත්වයක් දැක්වීම සිදුකරයි.
මෙම සංවිධානය ඔස්සේ මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා මුල්‍යමය සහ අධ්‍යාපනික සහාය සැපයීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් අපත් සමග පැවසීය.
කාලයාත් සමග ක්‍රමයෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව වර්ධනය වීමත් සමග ඔවුන් වෙනුවෙන් "ඇඩිලේඩ් ලක්හඬ" නමින් ප්‍රජා ගුවන් විදුලි සේවාවක් ස්වේච්ඡාවෙන් ඇරඹීම නයන් මහතා සිදු කළේය.
එම ගුවන්විදුලි සේවය ඔස්සේ දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා වැදගත් වැඩසටහන් මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී.
නයන් මහතා SBS සිංහල සේවයත් සමග සඳහන් කොට සිටියේ තමන්ට මතකයට නැගෙන මෑතකදී සිදු කල ස්වේච්ඡා කටයුත්තක් වශයෙන්, පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගත තත්වයත් සමග දැඩි පීඩනයකට සහ අසරණ බවට පත්වූ ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලාභීන් සහ තාවකාලික වීසා ලාභීන් හට උපකාර කිරීම සඳහන් කල හැකි බවයි.මේ සඳහා ප්‍රාන්තයේ සෙසු ස්වේච්ඡා සංවිධාන කිහිපයක සහායද හිමිව තිබේ.
තම ස්වේච්ඡා ගමනේ මුහුණ දුන් අභියෝග
තමන් මේ දක්වා සිදු කල බොහෝ ස්වේච්ඡා කටයුතු වලදී මුහුණ දීමට සිදු වූ මුලිකම අභියෝගය මුල්‍යමය ගැටලු වූ බව නයන් මහතා පැවසීය.
ඔහු අපත් සමග සඳහන් කොට සිටියේ, මෙහිදී ප්‍රධාන වශයෙන්ම, ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඇරඹීමේ කටයුතු වලදී සහ දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව සඳහා ගුවන්විදුලි සේවය ඇරඹීමේ කාර්යයේදී මෙවැනි ආකාරයේ මුල්‍ය ගැටලු සඳහා තමන් දැඩි ලෙස මුහුණ දුන් බවයි.
කෙසේ නමුත් මේ සියලු දේ සඳහා තමන්ට දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ සම්පුර්ණ සහාය ලැබුණු බවත් යමක් අලුතින් ඇරඹීමේ කාර්යයේදී ඔවුන් කිසිසේත්ම එය ප්‍රතික්ෂේප නොකළ බවත් ඉතා සතුටින් ආඩම්බරයෙන් මතක් කරන බවයි නයන් මහතා අපත් සමග සඳහන් කොට සිටියේ.
ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන්
මේ වනවිට පෙර පැවතියාට වඩා ඕස්ට්‍රේලියාව තුල ශ්‍රී ලංකික ප්‍රජාවේ ශීග්‍ර වර්ධනයක් පවතින අතර මෙහිදී වැඩිහිටි ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අතිශය වැදගත් බව නයන් මහතා පවසයි.

මෙම තත්වය නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි ප්‍රාන්ත වල මේ වනවිටත් පවතී. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුලත් එවැනි ආකාරයෙන් විශ්‍රාම ගිය වැඩිහිටි ශ්‍රී ලාංකික පිරිසට, සෙසු පිරිස සමග රිසි සේ කටයුතු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තම ඉදිරි බලාපොරොත්තුව වන බව ඔහු සඳහන් කොට සිටී.
ඔස්ට්‍රේලියාව තුල ශ්‍රී ලාංකික අනන්‍යතාවය සනිටුහන් කිරීමේ වැදගත්කම
ශ්‍රී ලංකාව වැනි රටක සිට ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු ප්‍රජා සත්කාර සිදු කිරීම අතිශය වැදගත් කරුණක් වන බව නයන් මහතා පවසයි. ඒ ඔස්සේ සෙසු පිරිස හඳුනාගැනීමට හැකියාව හිමිවන අතර තමන් අනාගත පරපුර හෝ සමාජය සඳහාත් යමක් සිදු කල බවට වන සංතෘප්තිය එමගින් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අලුතින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට ඔහු සඳහන් කොට සිටින්නේ තමන් හට හැකි අයුරින් ප්‍රජා සත්කාර සිදු කිරීමට පෙළඹෙන ලෙසයි. කෙසේ නමුත් ඔහු පවසන්නේ මෙය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව සඳහාම පමණක් සීමා වියයුතු නැති බවයි.
නයන් මහතා SBS සිංහල සේවයත් සමග අවසාන වශයෙන් පැවසුයේ, විශේෂයෙන්ම වෙනත් සංස්කෘතික පසුබිමක සිට පැමිණෙන ලාංකිකයින්ට මේ ඔස්සේ, ඕස්ට්‍රේලියානු ජීවිතයේ ජීවිතයේ අත්‍යවශ්‍ය සාධකයක් වන ඕස්ට්‍රේලියානු සංස්කෘතිය සහ භාෂා හැසිරීම හඳුනාගැනීම සඳහා මහඟු අවස්ථාවන් හිමිවන බවයි.
ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ්අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන්දෙන්න.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

