2016 ඔස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය ලබන අඟහරුවාදා (30/08) පැවැත්වීමට නියමිතය. පළමු සැසිවාරයට පෙරාතුව මෙවර සෙනට් මණ්ඩලයට තේරී පත්වූ නව සෙනට් මණ්ඩල සාමාජිකයන් ඊයේ (23/08) පාර්ලිමේන්තු හා සෙනට් මණ්ඩල කටයුතු පිළිබඳ දැනුවත් වීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියේය. මෙය බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ “නව සෙනට් සභිකයන් නැවතත් පාසැල් යයි” යනුවෙනි. මෙය ඔස්ට්‍රේලියානු දේශපාලනයේ සම්ප්‍රදායක් ලෙස පැවතෙන අතර මෙයින් පාර්ලිමේන්තුවට තේරී පත්වන නවක මන්ත්‍රීවරුන් හට නිසි උපදේශනයක් යටතේ සියලු කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා දෙයි.
ඒ අනුව නවක සෙනට් සභිකයින් 14 දෙනාම ඊයේ (23/08) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ මෙම පුහුණු පාඨ මාලාවට සම්බන්ධ වීමටය.
එහිදී කම්කරු පක්ෂයේ Louise Pratt 2013 වසරේ සිය ආසනය පරාජයට පත්වීමෙන් අනතුරුව නැවතත් මෙවර මැතිවරණයෙන් සෙනට් සභාවට තේරී පත්වී ඊයේ දිනයේදී මෙම පුහුණු සැසියට සම්බන්ධ වී තිබේ. මීට අමතරව One Nation පක්ෂයේ Pauline Hanson ද ඊයේ මෙම සැසියට සහභාගී වූයේ වසර 20කට පසුව නැවත සෙනට් මණ්ඩලයට තේරී පත්වීමෙනි.
45 වන පාර්ලිමේන්තුවේ නව සෙනට් සභිකයන්

ලිබරල් පක්ෂය
Jonathon Duniam (ටස්මේනියාව)
ටස්මේනියානු ප්‍රාන්තයෙන් මෙවර සෙනට් සභාවට තෙරේ පත්වූ Jonathon Duniam ලිබරල් පක්ෂය නියෝජනය කරයි. මොහු මීට පෙර ටස්මේනියානු නගරාධිපතිවරයාගේ සේවක මණ්ඩලය භාර නියෝජ්‍ය බලධරයා ලෙස කටයුතු කළේය.
Jane Hume (වික්ටෝරියා)
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ලිබරල් පක්ෂය සඳහා මෙවර සෙනට් සභාවට තේරී පත්වූ Jane Hume, National Australia Bank හි කළමනාකාරවරයකු ලෙස කටයුතු කළ අයෙකි.
කම්කරු පක්ෂය
Anthony Chisholm (ක්වීන්ස්ලන්තය)
කම්කරු පක්ෂයෙන් මෙවර ක්වීන්ස්ලන්තය නියෝජනය කරමින් සෙනට් සභාවට තේරී පත්වූ Anthony Chisholm ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ලේකම් ලෙස කටයුතු කළේය. පසුව ඉකුත් මහා මැතිවරණයත් සමග විශ්‍රාම ගිය Joe Ludwig වෙනුවෙන් මොහුට පත්වීම ලැබිණි.
Don Farrell (දකුණු ඔස්ට්‍රේලියාව)
වසර 2013 මැතිවරණයෙන් තම සෙනට් ආසනය පරාජයට පත් වීමෙන් අනතුරුව Don Farrell නැවත මෙවර සෙනට් සභාවට පත් වී සිටියි.
Malarndirri McCarthy (නොදර්න් ටෙරිටරි)
SBS මාධ්‍ය ජාලයේ සහ NITV හි හිටපු ජනමාධ්‍යවේදිනියක් වන Malarndirri McCarthy නොදර්න් ටෙරිටරි සඳහා කම්කරු පක්ෂයෙන් මෙවර සෙනට් සභාවට තේරී පත්වුයේ ඉල්ලා අස්වූ Nova Peris ගේ පුරප්පාඩුව පිරිමසමිනි.
Louise Pratt (බටහිර ඔස්ට්‍රේලියාව)
බටහිර ඔස්ට්‍රේලියාව සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරමින් මෙවර සෙනට් සභාවට තේරී පත්වූ Louise Pratt 2008 – 2014 කාලයේ සෙනට් සභාව නියෝජනය කළ අයෙකි.
Murray Watt (ක්වීන්ස්ලන්තය)
වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස කටයුතු කරන Murray Watt ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කළ අයෙකි.
One Nation පක්ෂය
Pauline Hanson (ක්වීන්ස්ලන්තය)
One Nation පක්ෂයේ නායක Pauline Hanson මෙවර සෙනට් සභාවට තේරී පත් වන්නේ වසර 20කට පසුව නමුත් ඔස්ට්‍රේලියානු නව සෙනට් සභාවේ ආන්දෝල්නාත්මකම චරිතය බවට ඇය පත්ව සිටියි.
Brian Burston (නිව් සවුත් වේල්ස්)
Cessnock නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා වූ Brian Burston සිඩ්නි සහ නිව් කාසල් විශ්ව විද්‍යාලවල ඉංජිනේරු විෂය පිළිබඳ දේශකයකු ලෙසද කටයුතු කරයි.
Rodney Culleton (බටහිර ඔස්ට්‍රේලියාව)
ගොවියකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන Rodney Culleton මෙවර බටහිර ඔස්ට්‍රේලියාව සඳහා One Nation පක්ෂය නියෝජනය කරමින් සෙනට් සභාවට තේරී පත්වී තිබේ.
Malcolm Roberts (ක්වීන්ස්ලන්තය)
ක්වීන්ස්ලන්තය සඳහා One Nation පක්ෂය නියෝජනය කරමින් සෙනට් සභාවට තේරී පත්වී ඇති Malcolm Roberts පතල් කර්මාන්තය හා සම්බන්ධ අයෙකි.
Nick Xenophon කණ්ඩායම
Stirling Griff (දකුණු ඔස්ට්‍රේලියාව)
බැංකුකරුවකු, මාධ්‍ය කළමනාකරුවකු සහ අලෙවිකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් Stirling Griff, Nick Xenophon හට හමු වන්නේ Retail Traders Association හි ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස කටයුතු කරන අතරේය.
Skye Kakoschke-Moore (දකුණු ඔස්ට්‍රේලියාව)
Nick Xenophon හට ප්‍රතිපත්ති උපදේශක ලෙස කටයුතු කරන Skye Kakoschke-Moore දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය සඳහා සෙනට් සභාවට පත්ව ඇත.
Derryn Hinch Justice පක්ෂය
Derryn Hinch (වික්ටෝරියා)
දෙවරක් සිරගත් වූ ආන්දෝලනාත්මක ජනමාධ්‍ය චරිතයක් වූ Derryn Hinch මෙවර සෙනට් සභාවට තේරී පත්වී ඇත්තේ Justice පක්ෂය නියෝජනය කරමින් වික්ටෝරියා ප්‍රාන්තය සඳහාය.

