Highlights
- ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීම සඳහා වන නිශ්චිත කාල රාමුව හෙළිදරව් කිරීම අගමැති ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කරයි.
- කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත මෙරට ආබාධ සහිත පුද්ගලයින් හට ලබාදීමේ වැඩපිළිවෙල බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති බවට චෝදනා
- ආගමික විශ්වාස අනුව රජයේ පාසල් වලට පිහි ගෙනයාම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තහනම් කරයි
- ගාසා තිරයේ ඉශ්‍රයල - පලස්තීන යුධ ගැටුම් තවත් උග්‍ර වෙයි
- කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසට දින පහක් සංචරණ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි
- ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහලම අඩියක
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමට නිශ්චිත කාලයක් හෙළි කිරීම අගමැති ප්‍රතික්ෂේප කරයි
ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීම සඳහා වන නිශ්චිත කාල රාමුව හෙළිදරව් කිරීම අගමැති ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කරයි. දේශ සීමා නැවත විවෘත කිරීම ආරක්ෂිත වන තෙක් එම සීමා ක්‍රියාත්මක වන බව අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටී.
අවම වශයෙන් ලබන වසරේ මැද භාගය වන තෙක් ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාරකයින් සඳහා වසා තබනු ඇති බවට මෙවර මධ්‍යම රජයේ අයවැය මඟින් පුරෝකථනය කොට තිබිණ.
එහෙත් කොරෝනා එන්නත සම්පුර්ණයෙන්ම ලබා ඇති පුද්ගලයින් හට ඉක්මනින් දේශ සීමා විවෘත කිරීම සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ රජයේ නිලධරයින් වෙතින් ඕස්ට්‍රේලියානු රජයට කෙරෙන බලපෑම වැඩිවෙමින් පවතී.
එහෙත් ඔස්ට්‍රේලියාව සෙසු රටවලට විවෘත කිරීමේදී ප්‍රවේශම් සහගත ප්‍රවේශයක අවශ්‍යතාවය මෙරට වැසියන් වටහා ගනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසා සිටී.
කොවිඩ් 19 එන්නත මෙරට ආබාධ සහිත පුද්ගලයින් හට ලබාදීමේ වැඩපිළිවෙල බොහෝ සෙයින් ප්‍රමාදයි
කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත මෙරට ආබාධ සහිත පුද්ගලයින් හට ලබාදීමේ වැඩපිළිවෙල බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති වාර්තා වේ.
මාර්තු මාසයේ ඇරඹි කොවිඩ් 19 එන්නත්කරන වැඩසටහනෙහි පළමු අදියරෙහි කොටසක් ලෙසට ප්‍රමුඛතාව ලබා දී තිබියදීත් ආබාධිත පුද්ගලයින් තවමත් එන්නත් ලබා ගැනීම සඳහා බලා සිටීන බව ආබාද සහිත පුද්ගලයින් වෙනුවෙන් වන සංවිධාන රජයට පෙන්වා දෙයි.
මේ වන විට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇත්තේ ආබාධිත පුද්ගලයින් 1000 කට අඩු සංඛ්‍යාවකට බවද, සම්පූර්ණ එන්නත ලබා දී ඇත්තේ 127 දෙනෙකුට පමණක් බවද වාර්තා වේ.
එන්නත ලබා නොගැනීම ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක් විය හැකි බව, Royal Australian College හි සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ නියෝජිත වෛද්‍ය ලැරිස්සා රොයිස්කි පවසා සිටී
ආගමික විශ්වාස අනුව රජයේ පාසල් වලට පිහි ගෙනයාම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තහනම් කරයි
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රජයේ පාසැල් වල ඇතැම් ආගමික කණ්ඩායම් තම ආගමික විශ්වාස මත භාවිතයට ගන්නා තියුණු ආයුධ සන්තකයේ තබාගැනීම තහනම් කෙරේ. එය හෙට සිට ක්‍රියාත්මකයි.
Glenwood High School හි සිදුවුණු පිහි ඇනුමකින් අනතුරුව ප්‍රාන්ත රජය මෙම තීරණයට එළඹ තිබේ. ප්‍රාන්තයේ දැනට පවතින නීතියට අනුව තම ආගමික විශ්වසයනට අනුකුලව මෙම කුඩා පිහි රැගෙන යාමට අවසර ලැබී තිබේ.
කෙසේ වෙතත් ප්‍රාන්ත සීක් ප්‍රජාව පවසන්නේ තම දරුවන්ට ආගමික චාරිත්‍රානුකූලව කුඩා කරිච්චියක් වැනි පිහියක් පාසැලට රැගෙන යාමේ අයිතිය සඳහා මෙවැනි තහනමක් පැනවීම ඔවුන්ගේ ආගමික ඇදහිල්ල කෙරෙහි පවතින ගෞරවයට හානිකරන බවයි.
කෙසේ වෙතත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය සාරා මිචෙල් පවසා සිටිනුයේ ප්‍රාන්තය තුල පවතින ඇතැම් නීති වලින් රිංගා යාමේ සිදුරු වසා දමන බවයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පුවත් කිහිපයක් කෙටියෙන්
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
මේ අනුව මෙම 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත්, යලිත් 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනි සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කොට සිටී.
මෙම සංචාරණ සීමා පැනවෙන්නේ වෙසක් සමයේදී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා බවද කොවිඩ් පාලනය කිරීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටී.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි.
මෙම මරණ අතරට ලක්සල සහ සළුසල සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා ද ඇතුලත්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර තිබෙන ඒ මහතා ලංකා පුවත් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ. එසේම ඒ මහතා කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අයෙකි.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,433කි. ඒ අනුව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,45,179 ක් දක්වා ඉහල ගොස් තිබේ.
මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව ඊයේ සිට දැඩි කිරීමට මුලතිව් පළාතේ ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීමට විශාල පිරිසක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණෙන බවට ලැබී ඇති තොරතුරක් මත මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබේ.
පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යුද්ධයෙන් මිය ගිය පිරිස් සැමරීමට උත්සව හෝ පුණ්‍ය කටයුතු සිදු නොකරන ලෙසට මුලතිව් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද නිකුත් කොට තිබේ. එහෙත් සංවිධානාත්මක පිරිසක් එම නියෝග නොතකා අද දිනය තුලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සැමරීමට කටයුතු යොදා ඇති බවට වන තොරතුරු, ආරක්ෂක අංශවලට ලැබී ඇති හෙයින් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගාසා තිරයේ ඉශ්‍රයල - පලස්තීන යුධ ගැටුම් තවත් උග්‍ර වෙයි
ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයින් 38,000 කට අධික ප්‍රමාණයක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 2,500 කට අධික ප්‍රමාණයකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර , පාසැල්, පෙර පාසැල් ඇතුළු අධ්‍යාපන ආයතන 41 කට අලාභහානි සිදුවී ඇතැයි වාර්තා වේ. එසේම විදුලි බලය සිඉමා කිරීම් සහ මාර්ග පද්ධතියට සිදුවී ඇති හානි නිසා සෞඛ්‍ය සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අභියෝගයක්ව තිබේ.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සතියක් පුරා පවතින මෙම යුධමය තත්වයට වහාම සටන් විරාමයක් ගෙන ඒම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී සිටියත් ඒ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණාත්මක නොවන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජෙරික් පවසයි.
මේ අතර පලස්තීන ජනාධිපති මහොමඩ් ෂයා පවසා සිටිනුයේ පලස්තීන ජනතාවට එරෙහිව සාපරාධී අපරාධ සිදුකරමින් සහ ඔවුනට අයත් භුමියේ රැඳී සිටිමින් සාමය අපේක්ෂා කිරීමට ඊශ්‍රායලයට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහලම අඩියක
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් තිබේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බවද වාර්තාවේ.
මේ වන විට අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් තරගයට දැනටමත් සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ නවසීලන්තය පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථාන හිමි කර ගෙන සිටී. මෙම ශ්‍රේණිගත කිරීමේදී ඉන්දියාව ලකුණු 121ක් හිමි කර ගෙන ඇති අතර, නවසීලන්තයට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 120කි. ලකුණු 109 ක් ලබාගත් එංගලන්තය තෙවැනි තැනට පත්ව ඇති අතර ලකුණු 108 ක් ලබාගත් ඔස්ට්‍රේලියාව සිව්වැනි තැනට පත්ව තිබේ.
තවද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පාකිස්තානය ලකුණු 94 ක් ලබා 5 වෙනි ස්ථානයද, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 84 ක් ලබා 6 වෙනි ස්ථානයද, ලකුණු 80 ක් ලබා ඇති දකුණු අප්‍රිකාව 7 වෙනි ස්ථානයටද පත්ව තිබේ.
මෙම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 8 වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ශ්‍රී ලංකාව සතුව ඇති ලකුණු සංඛ්‍යාව 78කි.
ශ්‍රී ලංකාවට පසුපසින් පිලිවෙලින් ලකුණු 46ක් සහ 35 ක් ලබා බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සිටී. ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය ටෙස්ට් වරම් දිනා සිටිය ද ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වීමට තරම් ප්‍රමාණවත් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කර නැති බැවින් ඔවුන් මේ නවතම ශ්‍රේණිගත කිරීම් සඳහා එක් කර නොමැත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම වසරකම මැයි මාසයේදී මෙම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරන අතර, එහිදී අවසන් වසර තුනක කාලය තුළ හිමි කර ගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව නව ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලැබේ.
පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - මැයි මස 18 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

