SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව කිසිවිටෙක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එකතු වෙන්නේ නෑ - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

No foreign judges, Ranil said in SL Parliament
Source: PM Sri Lanka

2 min read

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: News Sri Lanka



Skip to article content

විදේශ නඩුකාරවරු ගෙනැවිත් නඩු  ඇසීමට රජය කිසිවිටෙක එකඟ වී නොමැති බවත්  ශ්‍රී ලංකාව කිසිවිටෙක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එකතු නොවන බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පෙරේදා (21/03) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනිව විදේශ නඩුකාරවරු ගෙන්වීම ඇතුළත් යෝජනාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුව මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ ය.

මෙහිදී පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය,

"2009 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට ශ්‍රි ලංකා රජය හා අනෙකුත් රජයන් එකතු වෙලා, ඉදිරිපත් කළ යෝජනාව යටතේ, හිටපු ජනාධිපතිතුමා එකඟ වුණා, හිටපු මහලේකම් බන්කි මූන් මහතගේ ඒකාබද්ධ ප්‍රකාශය අනුව කියා කරන්න. එකාබද්ධ ප්‍රකාශයේ තිබෙනවා, මේ රටේ යුද කාලයේ දී මානව හිමිකම් උල්ලංඝණය වීම් විභාග කළ යුතුයි කියලා. වගවීම් ගැන විභාග විය යුතුයි කියලා. ලංකා ආණ්ඩුව ඊට එකඟ වුණා කියලා එතන සඳහන් වෙලා තියෙනවා. 2014 වසර වනවිට යෝජනාවක් සම්මත කර තිබුණා, මේ පිළිබඳ ක්‍රියා කරලා, මානව හිමිකම් නීතිය යටතේ දඬුවම් කරන්න වුවමනායි කියලා. එතන සඳහන් කළේ නෑ, කොයි නීතිය යටතේ ද ක්‍රියා කළේ කියලා.

රජයක් විධියට අපි කිසිවිටක රටේ ඒකීයභාවය නැතිකරන්නටවත්, ස්වාධිපත්‍ය නැතිකරන්නවත්, විදේශ නඩුකාරවරු ගෙනැල්ලා, උසාවියේ තියලා නඩු අහන්නවත් කිසිවිටක එකඟ වී නැහැ. එහෙම යෝජනාවකට අපි සහයෝගය ලබාදී නෑ. හවුල් වෙලත් නෑ. අපි 19 වන සංශෝධනය සම්මත කරලා, ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කරලා, ජාතික සංහිදියාව ඇති කිරීම ගැන මානව හිමිකම් කොමිසම ප්‍රසංශා කර තිබුණා. රජය මානව හිමිකම් සහ යහපාලනය වෙනුවෙන් ගත් තීරණ පිළිබඳව ඔවුන් සුබවාදීව බලා තිබෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවදී ආයතන ශක්තිමත් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රසංශා කළා.

අපි විදේශ නඩුකාරවරු පත් කරන්න යෝජනා කළේ නෑ. ආණ්ඩුව විසින් මේ පිලිබඳ විමර්ශනයට අධිකරණ යන්ත්‍රණයක් ඇති කරන යෝජනාව පිළිගත්තා. හැබැයි විදෙස් විනිසුරු වරුන් පත්කිරීමට යෝජනා ගෙන ආවේ නැහැ. අපි පවතින ව්‍යවස්ථවට අනුකූලවයි කටයුතු කරන්නේ. එයින් පිට කරන්න බෑ. අපි කියා තිබෙනවා උපදේශකවරු වුවමනායි  කියලා. හැබැයි නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව කියා නැහැ. ජනාධිපතිතුමා සහ මා ප්‍රසිද්ධියේ කියා තිබෙනවා,ශ්‍රී ලංකාව කිසිවිටෙක  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එකතු වෙන්නේ නෑ කියලා. අපි මිශ්‍ර උසාවි ඇති කරන්නේ නෑ. මම දැන් මේ සභාවේ කියා සිටිනවා , අපි ඒ එකක්වත් කරන්නේ නෑ. අපිට මේ ඔක්කොම සුද්ද කරන්න වෙලා. පසුගිය රජය ගත්ත ණයත් සුද්ද කරන්න වෙලා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now