2019 වසරේ පැවැත්වෙන මීළඟ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් මෙරටට වසරකට ලබාගන්නා වාර්ෂික සරණාගත කෝටාව 32,000 දක්වා වැඩිකරන බව මධ්‍යම රජයේ විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි. වත්මන් ලිබරල් සන්ධාන රජය යටතේ දැනට පවතින වාර්ෂික සරණාගත කෝටාව 13, 750කි.
තවදුරටත් මේ පිලිබඳ අදහස් දැක්වූ බිල් ශෝර්ටන් පැවසුයේ එක්සත් ජාතීන්ගේ සංගමය සමඟ එක්ව ක්‍රියාත්මක කරන සරණාගත සුභසාධන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන්කෙරෙනු ඇති බවයි. එසේම මිනිස් ජාවාරම් කරුවන්ගේ ක්‍රියාකාරකම් නැවත්වීම සඳහා පිටරටවලට යැවෙන ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ සංඛ්‍යාවද වැඩිකිරීමට ද බලාපොරොත්තු වේ.
කෙසේවුවද දැනට ක්‍රියාත්මක කෙරෙන ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත ස්ථානවල සරණාගතයින් රඳවා තැබීමේ ක්‍රියාවලිය අඛණ්ඩවම තම රජයක් යටතේද පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන බව බිල් ශෝර්ටන් තහවුරු කොට සිටී.
මේ පිලිබඳ අදහස් දක්වා සිටි one Nation පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් පවසා සිටියේ බිල් ශෝර්ටන් පවසන පරිදි කම්කරු පක්ෂයක් බලයට පත්වුවහොත් මෙතෙක් පවත්වාගෙන ආ දේශ සිමා ආරක්ෂාව අගාදයට ඇද දමනු ඇති බවයි.

