ශෝචනීය සිදුවීමක්ද සමගින් 15 වැනි පැරාලිම්පික් උළෙල නිමාවට පත්වෙයි. (SBS සිංහල /වාර්තා)

තරගාවලිය අතරතුරදී ඉරාන ජාතික පාපැදි ක්‍රීඩක Sarafraz Bahman Golbarnezhad C4/C 5 පාපැදි තරග ඉසව්ව අතරතුර සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත් වීම මෙවර පැරාලිම්පික් තරගාවලිය තුල සිදු වූ කණගාටුදායක සිදුවීමක්. වසර 56ක පැරාලිම්පික් තරග ඉතිහාසයේ තරග ඉසව්වක් අතරතුර සිදු වූ අනතුරක් හේතුවන් මෙලෙස ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත් වූ ප්‍රථම වතාව මෙය බව සදහන්.

Fireworks around the rim of the arena at the end of the closing ceremony of the Rio 2016 Paralympic Games

Fireworks around the rim of the arena at the end of the closing ceremony of the Rio 2016 Paralympic Games Source: AAP

2016 පැරාලිම්පික්  උළෙල විචිත්‍රවත් සමාප්ති උත්සවයක් සමගින් අද  (19 සදුදා  - ඕස්ට්‍රේලියානු AEST වෙලාවට අනුව)  බ්‍රසීලයේ රියෝ නුවර Maracana ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූ අතර, මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කප් සටහනේ ප්‍රථම ස්ථානය හිමි වුයේ රන් පදක්කම් 107ක් හිමි කරගත් චිනයටයි. රිදී පදක්කම් 81ක් සහ ලෝකඩ පදක්කම් 51ක් සමගින් චීනය හිමි කරගත් සමස්ථ පදක්කම් සංඛ්‍යාව 239ක්. රන් පදක්කම් 64ක් සමගින් සමස්ථ  පදක්කම් 147ක් හිමිකරගත් බ්‍රිතාන්‍යට පදක්කම් සටහනේ දෙවැනි තැනත්, රන් පදක්කම් 41ක් සමගින් සමස්ථ  පදක්කම් 117ක් හිමිකරගත් යුක්රේනයට පදක්කම් සටහනේ තෙවැනි තැන හිමි විය. ඇමරිකා එක්සත් ජනපදයට මෙවර පැරාලිම්පික්  උළෙලේ පදක්කම් සටහනේ හිමි වුයේ සිව්වැනි ස්ථානයයි. රන් පදක්කම් 40ක් සමගින් ඇමරිකා එක්සත් ජනපදයට පදක්කම් 115ක් හිමි විය.

ඕස්ට්‍රේලියාවට පදක්කම් සටහනේ පස්වැනි තැන

රන් පදක්කම් 22ක් සමගින් ඕස්ට්‍රේලියාවට පැරාලිම්පික්  පදක්කම් සටහනේ පස්වැනි තැන හිමි වූ අතර, රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 29ක් සමගින් ඕස්ට්‍රේලියාවට  සමස්ථ පදක්කම් 81ක් හිමි විය. මෙවර පැරාලිම්පික්  තරගාවලියේදී KL 3 කාණ්ඩය යටතේ ඔරු පැදීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගන්නට සමත් වූ Curtis McGrath සමාප්ති උළෙලේ ඕස්ට්‍රේලියානු ධජය රැගෙන ගමන් කල අතර, ඔහු ඕස්ට්‍රේලියානු යුධ හමුදා සේවයේදී අබාධයකට ලක් වූ සෙබලෙකු බව සදහන්. 1992 පැරාලිම්පික්  උළෙලේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාව  පදක්කම් සටහනේ පළමු රටවල් පහ අතරට ඇතුලත් වීමට සමත් වීමද විශේෂ සිදුවීමක්.

තරගාවලිය අතරතුරදී පාපැදි ක්‍රීඩකයෙක් ජීවිතක්‍ෂයට

තරගාවලිය අතරතුරදී ඉරාන ජාතික පාපැදි ක්‍රීඩක Sarafraz Bahman Golbarnezhad C4/C 5 පාපැදි තරග ඉසව්ව අතරතුර සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත් වීම මෙවර පැරාලිම්පික් තරගාවලිය තුල සිදු වූ කණගාටුදායක සිදුවීමක්. වසර 56ක පැරාලිම්පික්  තරග ඉතිහාසයේ තරග ඉසව්වක් අතරතුර සිදු වූ අනතුරක් හේතුවන් මෙලෙස ක්‍රීඩකයෙකු ජිවිතක්ෂයට පත් වූ ප්‍රථම වතාව මෙය බව සදහන්. පැරාලිම්පික්  තරගාවලිය තුල මුදල් ඉතිරි කරගැනීමට විවිධ සේවාවන් කප්පාදු කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට ජාත්‍යන්තර පැරා  කමිටුවට චෝදනා එල්ල වුවත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවට දිනේෂ් ප්‍රියන්ත හේරත්ගෙන් ලෝකඩ පදක්කමක්

Dinesh Priyantha Herath (Right) @ Medal ceremony
Source: Sanjaya Dassanayake

මෙවර පැරාලිම්පික්  ක්‍රීඩා උළෙලේ T 46 කාණ්ඩය යටතේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගන්නට සමත් වූ අතර, එහිදී ඔහු මීටර 58.23ක දුරක් වාර්තා කරන්නට සමත් විය. එය ඔහුගේ හොදම පුද්ගලික දක්ෂතාවය ලෙසත් වාර්තා අතරට එක විය. එම ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර ජහාරියා විසින් හිමි කරගත් අතර, රීදී පදක්කම චීනයට හිමි විය.

වසර 4 ක කාලයක්‌ ගජබා රෙජිමේන්තුවට අනුයුක්‌තව රට බේරා ගැනීමේ මෙහෙයුමට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස දායක වන දිනේෂ් ප්‍රියන්ත  පැරා ක්‍රීඩකයකු බවට පත්වන්නේ  2008 වසරේදී කිලිනොච්චියේදී ත්‍රස්‌තවාදීන් එල්ල කරන ලද ස්‌නයිපර් ප්‍රහාරයක්‌ හේතු කොට ගෙන වන අතර එහිදී ඔහුගේ වම් අත තුවාල ලැබීම හේතුවෙන්  අප්‍රාණික තත්ත්වයට පත් වූ බව සදහන්.

පැරාලිම්පික්  තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2012 වසරේදී T 46 මීටර 400 තරග ඉසව්වෙන්  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්‌කම හිමිකරදෙන්නට  ප්‍රදීප් සංජය ක්‍රීඩකයා සමත් විය.  ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර හිමිකරගත් ලෝකඩ පදක්කම සමගින් පදක්කම් සටහනේ 76 වැනි ස්ථානයට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

මීලග පැරාලිම්පික් සත්කාරකත්වය ටෝකියෝ නුවරට

මීලග ඔලිම්පික් උළෙල 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව පැරාලිම්පික්  උළෙලේ සත්කාරකත්වය සදහාද රියෝ නුවර නගරාධිපතිවරයා විසින් පැරාලිම්පික් ධජය ටෝකියෝ නුවර නගරාධිපතිනිය වෙත භාරදීම මෙහිදී සිදු විය.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now