Highlights
- වික්ටෝරියා ප්‍රාන්තය වෙත අද සිට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් පැමිණීම ආරම්භ කරමින් මුලින්ම ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් පැමිණෙයි.
- ක්වීන්ස්ලන්තයේ වැඩිහිටි නිවාසයක කාන්තාවක් ෆයිසර් කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව මියයාමේ සිදුවීම පිලිබඳ පරීක්ෂණ
- ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කෙරේ.
- ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධයක් ඇති බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය පවසයි
- ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟයක්
වික්ටෝරියා ප්‍රාන්තය වෙත අද සිට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් පැමිණීම ආරම්භ වේ
මාස දෙකකට ආසන්න කාලයකින් අනතුරුව වික්ටෝරියා ප්‍රාන්තය වෙත අද සිට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් පැමිණීම ආරම්භ වේ. මේ හේතුවෙන් වික්ටෝරියා හි හෝටල් නිරෝධායන වැඩසටහන නැවත ආරම්භ කොට තිබේ. කොළඹ, දෝහා, ඩුබායි යන නගර වලින් සහ සිංගප්පූරුවේ සිට පැමිණෙන සංචාරකයින් 106 දෙනෙකු අද [අප්‍රේල් 8] මෙල්බර්න් ගුවන් තොටුපළ ට පැමිණ තිබේ.
ඒ අනුව කොළඹ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු රැගත් UL 604 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය අද පෙරවරු 4.24 ට මෙල්බර්න් ගුවන් තොටුපලට පැමිණ තිබේ. අනතුරුව පෙරවරු 9.50 ට සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 16 ක් රැගත් ගුවන් යානය පැමිණ තිබේ. තවද, අද සවස 4.55 ට පුද්ගලයින් 40 ක් රැගත් දෝහා සිට පැමිණෙන ගුවන් යානය සහ රාත්‍රී 9.50 ට පුද්ගලයින් 25 දෙනෙකු රැගත් ගුවන් යානය ඩුබායි හි සිට පැමිණුන බවට සඳහන්
මෙලෙස පැමිණෙන සියළු දෙනා මෙල්බර්න් ගුවන්තොටුපොළ පරිශ්‍රයට ආසන්නයේ ඇති Holiday Inn සහ කොලින්ස් වීදියේ ඇති Intercontinental යන නිරෝධායන හෝටල් වෙත රැගෙන යනු ඇත. සියලුම විදේශ වල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් දින 14 ක හෝටල් නිරෝධායන කාලයකට යටත් වේ.
ක්වීන්ස්ලන්තයේ වැඩිහිටි නිවාසයක කාන්තාවක් ෆයිසර් කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව මිය යයි
ක්වීන්ස්ලන්තයේ වයස්ගත සත්කාරක නිවාසයක සිටි වයෝවෘද්ධ කාන්තාවක් COVID-19 එන්නත ලබාගෙන පැය කිහිපයකට පසුව මියයෑමේ සිදුවීමක් වාර්තා වේ. ස්ප්‍රිංවුඩ් යුරේනා වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ නේවාසික පුද්ගලයෙකු වුනු මෙම 82 හැවිරිදි වියෙහි පසුවුනු කාන්තාව ඊයේ දහවල් මිය ගිය අතර, මිය යාමට පැය කිහිපයකට පෙර ඇයට ෆයිසර් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත පෙර ලබාදී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී පවසන්නේ මෙම අවස්ථා දෙක එකිනෙකට සම්බන්ධ බවට තීන්දු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති නමුත් මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම විමර්ශනය කරන බවයි.
මධ්‍යම රජයේ ලිබරල් පක්ෂ පසුපෙළ මන්ත්‍රී Andrew Laming ට ව්‍යාජ Facebook 30 ක්
අන්තර්ජාල මාධ්‍ය හරහා කාන්තාවන්ට විවිද හිරිහැර කිරීමේ චෝදනා වලට ගොදුරු වුනු මධ්‍යම රජයේ ලිබරල් පක්ෂ පසුපෙළ මන්ත්‍රී Andrew Laming තවත් චෝදනාවකට හසුවී ඇතැයි වාර්තා වේ. හිටපු මන්ත්‍රී Andrew Laming තම දේශපාලන ප්‍රතිවාදීනට ප්‍රහාර එල්ලකිරීම සඳහා ව්‍යාජ Facebook ගිණුම් 30 කට අධික සංක්‍යාවක් භාවිත කොට ඇතැයි ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම හෙළිකර සිටී.
චෝදනා වලට ලක්වුණු ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයා පසුගිය මාසයේදී තමා මෙතෙක් ඉසිලූ සියළු පාර්ලිමේන්තු වගකීම් සහ රාජකාරී වලින් ඉවත්වන බව නිවේදනය කළේය. ඔහු මේ වන විට මානසික උපදේශනය සහ සංවේදනය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා වැටුප් සහිත නිවාඩු පිට සිටී.
ඔහු මීළඟ මැතිවරණයේදී දේශපාලනයෙන් ඉවත් වීමට ද සැලසුම් කර තිබේ. නමුත් ඊට පෙර ඔහුව ලිබරල් සන්ධාන පක්ෂයෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම්වලට අගමැති ස්කොට් මොරිසන් විරුද්ධ වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ අසමානතාවය ගැන බැලීමට වෙනම කාන්තා සමුළුවක් අවශ්‍යයි
හෙට පැවැත්වෙන (9 Apr) ජාතික කැබිනට් මණ්ඩල සාකච්චාවේදී , මෙරට ස්ත්‍රී පුරුෂ අසමානතාවයනට අදාල කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙනමම කාන්තා සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාව මතු කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී ඇනස්ටේෂියා පලාශේ පවසා සිටී.
ජුලි 29 සහ 30 යන දෙදින තුල පැවැත්වීමට නියමිත ජාතික කාන්තා සුරක්ෂිතතා සමුළුවේදී, කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව විවිද තීන්දු වලට එළඹීමට නියමිතව තිබේ. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය අවම කිරීමේ මීළඟ ජාතික සැලැස්මට අවශ්‍ය කරුණු සැකසීමට, මෙම සමුළුව උපකාරී වනු ඇති බව විශ්වාසයයි.
නමුත් කාන්තාවන් මුහුණ දෙන අනෙකුත් ගැටළු සඳහා වෙනම සමුළුවක් කැඳවීම අවශ්‍ය බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී ඇනස්ටේෂියා පලාශේ පවසා සිටී.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් කිහිපයක් කෙටියෙන්
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අනුමැතිය දී තිබේ.
ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සංවිධානය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙව් ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙලෙස ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු කෙරේ.
ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව රැසක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට මේ වන විට අනාවරණය කර ගෙන තිබෙන අතර එම අන්තවාදී සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසට පාර්ශ්ව රැසක් රජයෙන්ද ඉල්ලා තිබිණි.
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කොට සිටියේය. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මේ දැනුම් දීම සිදු කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයා එහිදී සඳහන් කොට සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබීය.
මේ අතර පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කොට ඊළඟට වැඩිම මනාප ලබා සිටින අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතව තිබේ.
2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ඒ මහතා මනාප ඡන්ද 47,212ක් හිමි කර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්ව තිබිණි.
අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධයක් ඇති බවට හෙළිදරව්වක්
ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සහ රුධිර කැටි ගැසීමේ ආබාධ ඇතිවීම අතර යම් සම්බන්ධයක් ඇති බව සොයාගෙන ඇතැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය පවසයි. නමුත් එන්නත මඟින් ඇතිවන ප්‍රතිලාභ, ඊට එරෙහිව ඇති ඕනෑම අවදානමකට වඩා තවමත් ඉදිරියෙන් පවතින බවද ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
දැනටමත් යුරෝපයේ මිලියන 25 ක් පමණ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇත. එහෙත් එන්නත ලබාගත් පසුව මෙලෙස රුධිර කැටි ඇතිවුනු සිදුවීම් හා සම්බන්ද රෝගීන් දුසිම් කිහිපයක් සමාලෝචනය කල බවද යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය පවසා සිටී. මෙම පුද්ගලයින් යුරෝපීය සහ බ්‍රිතාන්‍යය වැසියන් වේ.
එහිදී සොයාගෙන ඇත්තේ එන්නත් කිරීමෙන් සති දෙකක් ඇතුළත වයස අවුරුදු 60 ට අඩු කාන්තාවන් තුළ, බහුල ලෙසින් මෙම රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි. නමුත් දැනට පවතින සාක්ෂි මත පදනම්ව, මෙලෙස රුධිර කැටි ඇතිවීමට බලපාන නිශ්චිත අවදානම් සාධක හඳුනා ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඊමර් කුක් පවසයි. එය, එන්නත සඳහා එක් එක් පුද්ගලයිගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය එන්නත කෙරෙහි දක්වන ප්‍රතිචාරය අනුව සිදුවිය හැකි බවද ඇය පවසා සිටී.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින්ට ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍ය සෞක්‍ය බලධාරීන් නිර්දේශ කර තිබෙන බව බ්‍රිතාන්‍යයේ එන්නත් පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ සභාපති මහාචාර්ය වී ෂෙන් ලිම් පවසයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වන ප්‍රදර්ශනාත්මක පන්දු වාර 20 යි 20 ක්‍රිකට් තරගයක් මැයි 4 වනදා පල්ලේකැලලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. එම තරගයට ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහභාගී වන අතර ශ්‍රී ලංකා 20 යි 20 ක්ජතික කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් හෙබවීමට නියමිතයි.
ක්‍රිකට් ලෝලීන්ට එම තරගය නැරඹීමට ද අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. මෙම තරඟය කොවිඩ් 19 අරමුදල සඳහා පැවැත්වෙන සමාජ සත්කාරක තරඟයක් ලෙස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද - අප්‍රේල් 8 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

