සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ මීළඟ තරග දෙක සහ 20-20 තරගය සඳහා ප්‍රමණවත් ආරක්ෂාවක් අපේක්ෂා කරන බව ICC තරග තීරක Andy Pycroft ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
පසුගිය ඉරිදා (27/08) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන එක් දින තරගයේ ඉන්දීය ඉනිම ක්‍රියාත්මක වෙමින් සිටියදී කුපිත වූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් පිටියට බෝතල් ප්‍රහාර එල්ල කිරීමත් සමග තරගය මිනිත්තු 30 ක පමණ කාලයක් නතර කිරීමට සිදු විය.
කෙසේවෙතත්, කැරලි මර්දන පොලිස් ඒකකයේ මැදිහත්වීමෙන් තත්ත්වය සමතයකට පත් කර තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දුන්නේය.
දෙරට අතර පැවැත්වෙන මීළඟ එක් දින තරග දෙක සහ 20-20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර මෙලෙස ඒ සඳහා ආරක්ෂාව තර කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
මේ අතර පල්ලෙකැලේ තරගයේදී වතුර බෝතල් හා ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
ක්‍රීඩකයන් වෙත වතුර බෝතල් සහ ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් වීඩියෝපට මගින් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන් මේ ආකාරයට හැසිරුණු ප්‍රථම අවස්‌ථාව මෙය බවත් මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට විශාල කැළලක් බවත් පොලිස්‌පතිවරයා පවසයි.
එබැවින් මෙම තත්ත්වය නතර කිරීම සඳහා පොලිසිය ගත හැකි ඉහළම නීතිමය ක්‍රියා මාර්ගය ගන්නා බවත් මින් ඉදිරියට පැවැත්වෙන තරගවලදී මේ ආකාරයට අශෝභන ලෙස හැසිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්‌පතිවරයා පැවසුවේය.

