ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වසර 9ක පාලන කාලයෙන් පසු ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට අද - සැප්තැම්බර් 26 වන දා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුලදී නිවේදනය කොට සිටියේය. අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පැවති හදිසි මාධ්‍ය හමුවකදී ඇන්ඩෲස් මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ දීර්ඝතම කාලයක් බලයේ සිටි ප්‍රාන්ත අගමැති වූ අතර ප්‍රාන්ත සහ ජාතික දේශපාලන දෙකෙහිම ඉහළම චරිතයක් බවට පත්විය.
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගෙන් පසුව තම අසුනට පැමිණෙන්නා පිළිබඳව තීරණය කිරීම අන් අයට භාර වන බවයි.
ප්‍රාන්ත අගමැති තනතුරින් ඉල්ලා අස්වන බවට ඔහු නිවේදනය කොට සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ Cath ද පසෙකින් සිටි අතර, ඇන්ඩෲස් මහතා එහිදී පවසා සිටියේ ප්‍රාන්ත නායකයෙකු ලෙසට කටයුතු කිරීම ඉතා ප්‍රබල වගකීමක් වන අතර තමාට හැඟෙන පරිදි දැන් එය අත්හැරිය යුතු කාලය එළඹ ඇති බවයි.
පසුගිය 2022 වසරේ නොවැම්බරයේදී පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ඩැනියෙල් ඇන්ඩෲස් තෙවැනි වරටත් වික්ටෝරියා ප්‍රාන්තයේ නායකයා ලෙස තේරී පත් වූ අතර ඔහුගේ පළමු ධුර කාලය 2014 දී ආරම්බ විය. ඉන් අනතුරුව 2018 සහ 2022 වසර වලදී පැවති ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු නියෝජනය කරන කම්කරු පක්ෂය සඳහා තම ප්‍රතිවාදියා වන ලිබරල් සන්ධානයට වඩා විශාල පරතරයකින් යුක්ත සුවිසල් ජයග්‍රහණ අත්පත් කර දීමට සමත් වූයේය.
මධ්‍යම රජයේ අගමැති Anthony Albanese පවසන්නේ අද දින ඉල්ලා අස්වුණු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් තම සේවා කාලය තුලදී වික්ටෝරියානුවන්ට විශාල උරුමයක් ඉතිරි කර ඇති බවයි.
ඩැනියෙල් ඇන්ඩෲස් මහතාගේ ඉල්ලා අස්වීම හෙට, එනම් සැප්තැම්බර් 27 වනදා සවස 5 සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති තනතුර සඳහා කම්කරු පක්ෂයෙන් තෝරාගන්නා ඔහුගේ අනුප්‍රාප්තිකයා හෙට (27) මධ්‍යහන 12 වන විටදී තෝරා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
- SBS Audio APP එකෙන් (Free)

