ජනපති අණින් වහාම සමස්ත විල්පත්තුවම වනජීවි කලාපයක් වෙයි.

President instructs extension of forest cover in Wilpattu

Source: www.shieldsofnature.com

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට ඊයේ (30/12) උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් ලබාදී තිබේ.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ, වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දී ඇත.

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දී ඇත.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

ජනපති අණින් වහාම සමස්ත විල්පත්තුවම වනජීවි කලාපයක් වෙයි. | SBS Sinhala