ඕස්ට්‍රේලියාවේ මීළඟ මහා මැතිවරණය එලඹෙන ජුලි 2 දා පැවැත්වෙන බව පසුගියදා අග්‍රාමාත්‍ය මැල්කම් ටන්බුල් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. double dissolution මැතිවරණයක් ලෙසින් මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සෙනෙට් සභාව සහ මහජන මන්ත්‍රී මණ්ඩලය මේ වනවිට විසුරුවා හැර ඇති අතර, මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150ක් සහ සෙනෙට් සභාවේ ආසන 76ක් සදහා මෙවර ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. සති අටකට ආසන්න කාලයක් මෙවර මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වීමට නියමිත අතර, ආර්ථික සංවර්ධනය, රැකියා අවස්ථා වර්ධනය සහ අධ්‍යාපනය යන කේෂ්ත්‍ර සදහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු වනු ඇති.
තමන් අග්‍රාණ්ඩුකාර තුමා හමුවීමෙන් අනතුරුව එලඹෙන ජුලි 2 දා මැතිවරණය පැවැත්වීමට තීරණය කල බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් තම මැතවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බව, මැතිවරණය ප්‍රකාශයට පත් කල අග්‍රාමාත්‍ය මැල්කම් ටන්බුල් සදහන් කළේය.
ජුලි මස පැවැත්වෙන මැතිවරණය පිළිබද අදහස් දැක්වූ, විපක්ෂ නායක බිල් ෂොට්න් සදහන් කලේ, කම්කරු පක්ෂය දැඩි විශ්වාශයකින් යුතුව මෙවර මැතිවරණයට මුහුණ දීමට සුදානම් බවයි. බහුතරයක් ඕස්ට්‍රේලියානුවන්ට වැදගත් කාරණා සම්බන්දයෙන් මෙවර මැතිවරණයේදී තමන් සටන් කරන බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පවසයි.
අධ්‍යාපනය, සෞඛ්‍ය, medicare වැඩසටහන සහ දේශගුණික විපර්යාස වෙනුවෙන් තමන් මෙවර මැතිවරණයේදී සටන් කිරීමට බලාපොරොත්තු වන බව, බිල් ෂොට්න් මහතා වැඩි දුරටත් පවසයි.
තම පක්ෂය සහ ලිබරල් පක්ෂය එක්ව මෙම මැතිවරණයට තරග වදින නිසා, මැතිවරණය ජයගනිමින් සභාග රජයක් පිහිටවීමට තමන්ට හැකි වනු ඇති බව Nationals පක්ෂයේ නායක බානබි ජොයිස් මහතා පවසයි. ඕස්ට්‍රේලියානු ජන්ද දායකයින්ට අවශ්‍යව ඇත්තේ රටේ සංවර්ධනය සදහා දීර්ඝ කාලීන සැලසුමක් ඇති පක්ෂයක් බලයට පත් කරගැනීම බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙය රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බවත්, ජන්ද දායකයින් රටේ සමෘද්ධිය ගැන සිතා තීරණ ගත යුතු බවත් බානබි ජොයිස් මහතා සදහන් කරයි.
මෙවර මැතිවරණ ව්‍යාපාරය පිලිබදව අදහස් දක්වන Greens පක්ෂ නායක රිචර්ඩ් ඩි නටාල් පවසන්නේ, පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබද කතා බහ කිරීම මෙවර මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ අමතක කොට ඇති බවයි. පරිසරය නොසලකා හැර තීරණ ගැනීමෙන්, රැකියා සදහා අහිතකර බලපෑම් ඇති විය හැකි බව ඔහු වැඩි දුරටත් පවසයි. පැරණි ප්‍රධාන පක්ෂ දෙක යල්පැනගිය fossil ඉන්ධන මත පදනම්ව තම ප්‍රතිපත්ති සකස් කර ඇති බව Greens පක්ෂ නායක රිචර්ඩ් ඩි නටාල් වැඩි දුරටත් සදහන් කරයි.

