වසර 20ක සිහිනය නිමවෙයි : මෙල්බන් සහ සිඩ්නි නගර අතර අධිවේගී දුම්රිය මාර්ගය ඉදිවීමට සියල්ල සුදානම්. (වාර්තා /SBS සිංහල)

නව දුම්රියේ ඇස්තමේන්තු ගත වේගය පැයට කිලෝ මීටර 350ක් වන අතර ඒ අනුව ශෙපර්ටන් ප්‍රදේශයේ සිට මෙල්බන් වෙත පැමිණීමට ගතවන කාලය මිනිත්තු 35ක් පමණ බව ගණන් බලා තිබේ. සිඩ්නි සිට මෙල්බන් වෙත සීඝ්‍රගාමීව කෙලින්ම ධාවනය කළහොත් පැයකුත් මිනිත්තු 50ක් ගතවන අතර අතර මග නවත්වමින් ධාවනය කළහොත් පැය දෙකකුත් මිනිත්තු 45ක කාලයක් ගතවනු ඇති බවද ගණන් බලා තිබේ.

A proposed high speed rail line on Australia's east coast

A proposed high speed rail line on Australia's east coast between Melbourne and Sydney via Canberra with 8 stops. Source: CONSOLIDATED LAND & RAIL AUSTRALIA

මෙල්බන් සහ සිඩ්නි නගර යාකරමින් නව අධිවේගී දුම්රිය මාර්ගයක් තැනීම සඳහා ආයෝජනය කිරීමට පුද්ගලික සමාගමක් කැමැත්ත පළ කර තිබේ. ලොව වඩාත් කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ග අතරින් සිව්වන ස්ථානය හිමි මෙල්බන් සහ සිඩ්නි නගර අතර ඉදිවන මෙම අධිවේගී දුම්රිය මාර්ගය ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා හරහා වැටී පවතී. මෙම නව අධිවේගී දුම්රිය මාර්ගයේ ප්‍රධාන සැලසුම්කරු සහ ආයෝජන කරු වන්නේ Consolidated Land and Rail Australia හෙවත් CLARA නමැති ඔස්ට්‍රේලියානු පුද්ගලික සමාගමය. ඔස්ට්‍රේලියානු ඩොලර් බිලයන 200ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය හරහා මෙල්බන් සහ සිඩ්නි නගර අතර දුම්රිය මාර්ගයට සමාන්තරව නව නගර 8ක්ද ඉදි කිරීමට නියමිතය. ඒ අනුව කැන්බරා නුවර හරහා දිව යන මෙම නව අධිවේගී දුම්රිය මාර්ගයේ මෙල්බන් සහ සිඩ්නි හැරුණු කොට දුම්රිය නැවතුම් ස්ථාන 8ක් පවතී.

CLARA සමාගම මෙම ගිවිසුම එළි දැක්වුයේ පසුගිය ජූලි 14 වන දින අතර මෙම ව්‍යාපෘතිය සඳහා නායකත්වය සපයනු ලබන්නේ CLARA සමාගමේ සභාපති නික් ක්ලියරි විසිනි. මේ වනවිට ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සමස්ත ඉඩම්  ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක ඉඩම් CLARA සමාගම අත්පත් කරගෙන තිබෙන බව වාර්තා වේ. CLARA සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේ ග්‍රාන්ට් පවසන පරිදි මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රධාන නගරවල ජීවත්වීමට අපේක්ෂා කරන ජනතාව ප්‍රාදේශීය ප්‍රදේශ කරා ආකර්ෂණය කිරීමක්ද සිදු වෙයි. ඒ අනුව මෙල්බන්, සිඩ්නි සහ බ්‍රිස්බේන් නගරවල ඉදිරි අනාගතයේදී ස්ථාපිත වීමට අපේක්ෂා කරන ජනතාවගෙන් 22%ක ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය හරහා ඉදිවන නව නගරවල පදිංචි වනු ඇති බවට ඔවුන් ඇස්තමේන්තු කර ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා ඉදිවන නව නගරවල බලශක්ති උත්පාදනය, ජල කළමනාකරණය, කසළ කළමනාකරණය අදාළ නගර විසින්ම සිදූ කරගන්නා ආකාරය පිළිබඳ සැලසුම් සකස් කිරීමට RMIT විශ්වවිද්‍යාලයේ සහයද ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. CLARA සමාගමේ මෙම දැවැන්ත කටයුත්තට AECOM, GE සහ SGS Economics යන සමාගම් වලද සහය හිමිව තිබේ.

ඉදිකිරීමට සැලසුම් කර ඇති නව අධිවේගී දුම්රිය මාර්ගය සඳහා ජපානයේ SCMaglev, ප්‍රංශයේ TGV සහ  චීනයේ China Railway High-speed යන අධිවේගී දුම්රිය සේවා වෙතින් අදහස් ගැනීමට බලාපොරොත්තු වන බවට තොරතුරු අනාවරණය වී ඇත. නව දුම්රියේ ඇස්තමේන්තු ගත වේගය පැයට කිලෝ මීටර 350ක් වන අතර ඒ අනුව ශෙපර්ටන් ප්‍රදේශයේ සිට මෙල්බන් වෙත පැමිණීමට ගතවන කාලය මිනිත්තු 35ක් පමණ බව ගණන් බලා තිබේ. සිඩ්නි සිට මෙල්බන් වෙත සීඝ්‍රගාමීව අතර මග නොනවත්වා කෙලින්ම ධාවනය කළහොත් පැයකුත් මිනිත්තු 50ක් ගතවන අතර අතර මග නවත්වමින් ධාවනය කළහොත් පැය දෙකකුත් මිනිත්තු 45ක කාලයක් ගතවනු ඇති බවද ගණන් බලා තිබේ.

මෙම ඉදිකිරීම් අදියර කිහිපයකින් සිදු කිරීමට නියමිත අතර පළමු අදියරේ ඉදි කිරීම් මෙල්බන් සිට ශෙපර්ටන් වෙත සිදුකිරීමට නියමිතය. වසර 5ක කාලයකින් නිම කිරීමට අපේක්ෂිත මෙම පළමු අදියරේ ඉදි කිරීම් උදෙසා වැයවන මුදල දළ වශයෙන් ඩොලර් බිලියන 13කි.

වසර 20ක් තිස්සේ නිසි ආයෝජකයකු නොමැතිවීම හේතුවෙන් කල් ගතවූ මෙම අධිවේගී දුම්රිය මාර්ගය නිම වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික සංවර්ධනයේද සැලකිය යුතු පෙරළියක් සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළ කරති. 


3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now