බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් රැජිණ ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද (සැප්තැම්බර් 09) අලුයම අභාවප්‍රාප්ත වූවාය.
ස්කොට්ලන්තයේ සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව Buckingham මාලිගය නිවේදනය කළේය.
මිය යන විට ඇය 96 වන වියෙහි පසු වූවාය.
ඇයගේ මරණය පිළිබඳ නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර ඇගේ පවුලේ අය ඇය සමඟ සිටීමට ගොස් තිබේ.
දෙවැනි එළිසබත් රැජිණගේ අභාවයෙන් පසුව ඇගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍ය කිහිපයක් සමඟ දැන් එක්සත් රාජධානියේ රජු වේ.
තම මවගේ අභාවය තම පවුලට "ඉතා ශෝකජනක මොහොතක්" බව නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු පැවසුවේය.
"ඇගේ වියෝව රට පුරා මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සහ ලොව පුරා දහස් ගණනක් මිනිසුන්ට ගැඹුරින් දැනෙනු ඇතැයි මම දන්නවා." යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.
Buckingham මාලිගය වෙත රැජිණ සඳහා උපහාර ගලා ඒමට පටන් ගෙන ඇති අතර විශාල වශයෙන් ජනතාව මාලිගාව පිටත රැස් වීමට පටන් ගෙන තිබේ.
"නූතන බ්‍රිතාන්‍යය ගොඩනඟන ලද පර්වතය" ලෙසින් අලුතින් තේරී පත් වූ එක්සත් රාජධානියේ අගමැතිනි Liz Truss දෙවැනි එළිසබෙත් රැජිනව හඳුන්වා ඇත.
"ඉදිරි දුෂ්කර දිනවලදී, එක්සත් රාජධානිය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ ලොව පුරා සිටින අපගේ මිතුරන් සමඟ ඇයගේ අසාමාන්‍ය සේවා කාලය සිහිපත් කිරීමට අපි එක් වෙමු," යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය..
දින කිහිපයකට පෙර, දෙවැනි එළිසබත් රැජින Balmoral මාලිගාවේදී බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස Liz Truss ව පත් කළාය.
Liz Truss යනු දෙවන එලිසබෙත් රැජින යටතේ සේවය කළ 15 වැනි බ්‍රිතාන්‍ය අගමැතිවරයා වේ.

එළිසබත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් තිබුණි..
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇය රාත්‍රියක් රෝහලේ ගත කළ අතර එතැන් සිට ඇයගේ පොදු කටයුතු කපා හැරීමට ඇයට සිදු විය.
සැප්තැම්බර් 07 වනදා බදාදා, ඇයගේ වෛද්‍යවරුන් විසින් ඇයට විවේක ගන්නා ලෙස උපදෙස් දීමෙන් පසු ඇය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සැලසුම් කර තිබූ online රැස්වීමක් අවලංගු කළාය.
ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එළිසබත් රැජින බ්‍රිතාන්‍යයේ සිංහාසනයට පැමිණියේ 1952 පෙබරවාරි 6 වන දින ඇයගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවය.
ඒ වන විට ඇයට වයස අවුරුදු 25 ක් වූවාය.
ඊළඟ වසරේ ජුනි මාසයේදී ඇය බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය.
ඇගේ සැමියා වූ පිලිප් කුමරු ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මිය ගියේය. ඔවුන් විවාහ වී වසර 73 කි.

