ඔස්ට්‍රේලියාවේ වෙනත් ඕනෑම ස්ථානයකට වඩා වැඩි පිරිසක් අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට සංක්‍රමණය වන බව 2021 වසරේ සිදුකළ සංගණනයේ දත්ත පෙන්වා දී ඇත.
2021 සංගණනයට පෙර වසර පහ තුළ, වෙනත් ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් පුද්ගලයන් 100,000කට අධික සංඛ්‍යාවක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ සිදුවන අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයේදී ක්වීන්ස්ලන්තය මෙවර වාර්තාවක් තැබීමට සමත් වී ඇත.
2021 සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අතර සංක්‍රමණය
2016 - 2021 අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට 107,549 ක පිරිසක් සංක්‍රමණය වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
ටස්මේනියා ප්‍රාන්තය මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී ඇති අතර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් ටස්මේනියා ප්‍රාන්තයට 15,340 ක පිරිසක් ඉහත කාල සීමාව තුළ පැමිණ තිබේ.
මෙම අන්තර් ප්‍රාන්ත සංක්‍රමණ නිසා වැඩිම පාඩුව සිදුවී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.
2016 - 2021 අතර කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 102,227 ක පිරිසක් පිටව ගොස් ඇත.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන්ද එම කාල සීමාව තුළ 9,491 ක පිරිසක් වෙනත් ප්‍රාන්තවලට හෝ ටෙරිටරිවලට පිටව ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව 2011, 2016 සහ 2021 සංගණන දත්තවලින් ඔස්ට්‍රේලියාවේ අන්තර් ප්‍රාන්ත සංක්‍රමණය සිදුවී ඇත්තේ පහත අයුරිනි.
සංගණන දත්ත ලබාගැනීම
2021 සංගණනයේදී වසරකට පෙර සහ වසර පහකට පෙර ඔස්ට්‍රේලියාවේ තමන් ජීවත් වූ ස්ථානය කොහේද යනුවෙන් ප්‍රශ්න ඇසූ බව සංගණනයේ වැඩසටහන් කළමනාකරු Mark Harding පැවසුවේය.
පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 53% ක් තම වාසස්ථානය වෙනස් නොකළ බව සංගණන දත්ත පෙන්වයි.
සංක්‍රමණය කළ පිරිසෙන් බහුතරයක් එනම් 87% ක් තමා සිටි ප්‍රාන්තය හෝ ටෙරිටරිය තුළම සංක්‍රමණය වී තිබේ.
සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් වෙනත් ප්‍රාන්තයකට හෝ ටෙරිටරියකට මාරු වී තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයට හේතු
මෙලෙස අන්තර් ප්‍රාන්ත සහ ටෙරිටරි සංක්‍රමණයට ප්‍රධාන හේතු කිහිපයක් අනාවරණය කරගෙන තිබේ.
- දැරිය හැකි මට්ටමේ මිලකට ඇති නිවාස
- රැකියා අවස්ථා
- වීසා කටයුතු සහ ස්ථිර පදිංචිය ලබාගැනීමේ අපේක්ෂාව
- උසස් අධ්‍යාපන කටයුතු
ප්‍රධාන නගරවලින් පිටවන පුද්ගලයින්ගේ වැඩිවීමක්
පෙර සංගණනවලට සාපේක්ෂව පසුගිය සංගණන කාල සීමාවේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් පිටවන පුද්ගලයින්ගේ වැඩිවීමක් ද අනාවරණය විය.
2021 දක්වා වූ වසර පහක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් පුද්ගලයින් 160,100 ක් පිටව ගොස් ඇත.
2016 වසරේ සංගණනයේදී එම අගය 43,000 ක් වූ අතර 2011 දී 72,200 ක් වූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
COVID-19 කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් ප්‍රාදේශීය ප්‍රදේශවලට මිනිසුන්ගේ සංක්‍රමණය තීව්‍ර වී තිබේ.
2021 සංගණනයට පෙර වසරක කාලය තුළ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් පුද්ගලයින් 59,500 ක් ප්‍රාදේශීය කලාප වෙත ගොස් ඇති අතර සිඩ්නි නගරයෙන් පමණක් 49,100 ක් ඒ අතර වෙති.

