SKIP TO MAIN CONTENT

දුර්වල චෝදනා ගොනුකිරීම් හමුවේ රාජිතට ඇප ලැබුණු හැටි

Rajitha Senaratne granted bail
Source: Facebook

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලදි. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තවමත් නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ද වුනු අනෙකුත් පුද්ගලයින් දෙදෙනාට එම මාධ්‍ය සාකච්චාවට සහභාගිවීම සඳහා මුදල් ලබාදුන් බවට පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය ඊයේ නියෝග කළේය.

මෙම සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඒ මහතා අසනීප බව පවසමින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත්වුණි.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 27 වැනිදා ඒ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය හේතුන් මත තම සේවාදායකයාට ලංකා රෝහලේ  හෘද රෝග ඒකකයේ වෛද්‍ය මුබාරක් මහතාගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව යි.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙක් මෙම සුදු වැන් මාධ්‍ය හමුවෙන් අගතියට පත්වූ බව පැමිණිලි කර නොමැති බවද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඒ අනුව ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ කරුණු සියල්ල සළකා බලා තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙසයි.

කෙසේවෙතත් දෙපාර්ශ්වයේම කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මෙම සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව  මුලින් අත්අඩංගුවට ගත් පළමු සහ දෙවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබා ඇත්තේ ඔවුන් විසින් මිට පෙර සිදුකරන ලද මීනිමැරීම, මංකොල්ලකෑම සහ පැහැරගැනීම ඇතුළු චෝදනාවලට වන බවයි.

තුන්වන සැකකරුවන රාජිත සේනාරත්න, වැරදි කරුවන් සඳහා අධාර අනුබල දීම , කුමන්ත්‍රණය කිරීම සහ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

ඒ අනුව පළමු සහ දෙවන සැකකරුවන් අත්අඩංගුවට ගත් හේතුවට පරස්පර හේතු මත රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිසා තුන්වන සැකකරු වන රාජිත සේනාරත්න සැකකරුවෙක් ලෙස නම් කිරීමේ පටිපාටිය දෝශසහගත වන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප නියම වුනු අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කොට විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට පත්කිරීමට නියෝග කරන ලදී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now