Highlights
- Moderna එන්නත සඳහා ගිවිසුමට කල්ගතවීම ගැන විපක්ෂයෙන් ඔස්ට්‍ර්ලියා රජයට චෝදනා
- වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණයක් වී නැතැයි ප්‍රාන්ත බලධාරීන් පවසයි
- ඕස්ට්‍රේලියා විපක්ෂයෙන් ඩොලර් බිලියන 10 ක නිවාස අරමුදලක්
- ලිංගික හිංසනය පිලිබඳ චෝදනා හේතුවෙන් නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු සාමාජික තනතුරෙන් තාවකාලිකව ඉවතට
- බරපතල වැරදි සිදු කල සරණාගතයින්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
- ශ්‍රී ලංකාවේ එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන වල දිගින් දිගටම නොසන්සුන්තා, ඉහල රෝගීන් වාර්තාවත් අඛණ්ඩව
Moderna එන්නත සඳහා ගිවිසුමට කල්ගතවීම ගැන විපක්ෂයෙන් ඔස්ට්‍ර්ලියා රජයට චෝදනා
කොරෝනා වෛරසය සඳහා වන Moderna එන්නත් නිෂ්පාදන සමාගම සමග ගිවිසුමකට එළඹීමට මෙතරම් කල ගතවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විපක්ෂය මධ්‍යම රජයෙන් ප්‍රශ්න කොට සිටී.
ඇමරිකානු එන්නත් සමාගමක් සමග ඕස්ට්‍රේලියානු රජය එළැඹි මෙම ගිවිසුම ඔස්සේ එන්නත් මාත්‍රා මිළියන 25ක් වෙන් කොට ඇති අතර එහි පළමු තොගය වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 10ක් මෙම වසර අගදී ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබේ. ඒ අනුව වයස 50ට අඩු පුද්ගලයින් සඳහා එම එන්නත් ලබාදීමට මේ වනවිට තීරණය කොට තිබේ. එන්නත් දෙවන තොගය වන සෙසු එන්නත් මාත්‍රා මිලියන 15 ලබන වසරේදී ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව් තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු පක්ෂ සෞඛ්‍ය ප්‍රකාශක Mark Butler සඳහන් කොට සිටින්නේ මෙවැනි ගිවිසුමක් සඳහා ඕස්ට්‍රේලියානු රජය මීට පෙර යොමු විය යුතුව තිබු අතර එසේ නොකිරීම මත මෙම එන්නත් සඳහා වසර අවසානය දක්වා ඕස්ට්‍රේලියානුවන්ට සිටීමට සිදු වන බවයි.
m-R-N-A තාක්ෂණය සහිත Moderna වැනි එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මේ වනතෙක් ඔස්ට්‍රේලියව තුල තාක්ෂණය නොපවතින නමුත් ලබන වසර වනවිට මෙවැනි එන්නත් ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් Brendan Murphy සඳහන් කොට සිටී
Moderna එන්නත සහ එහි කාර්යක්ෂමතාවය සඳහා ලබාදෙන දෙවන එන්නත ඔස්ට්‍රේලියාව තුල භාවිත කිරීම සඳහා චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය ලැබීමට නියමිතව තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණයක් වී නැතැයි ප්‍රාන්ත බලධාරීන් පවසයි
වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමු වූ කොරෝනා වෛරස අසාදනය වූ පුද්ගලයාගෙන් ප්‍රජා සම්ප්‍රේෂණයක් සිදුව නොමැති බවට විශ්වාස කරන බව එම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කොට සිටී.
ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි 30 හැවිරිදි වික්ටෝරියානු ප්‍රාන්ත වැසියකු හට , ඔහු නිරෝධායනයට ලක් වූ ඇඩිලේඩ් හි හෝටලයකදී මෙමෙ වෛරසය වැළඳී ඇති බවට අනවරණය විය.
මෙම පුද්ගලයා ගමන්ගත් ස්ථාන අනුව, ඔහු ගමන් කල මෙල්බර්න් හි දුම්රිය දෙකක මගීන් සම්බන්ධයෙන් ප්‍රාන්ත බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු විය
කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ මෙමෙ අසාදිත පුද්ගලයාගේ සමීපතමයින් මේ වනවිට හුදකලා කාලසීමාවකට යටත් කොට ඇති අතර මේ වනතෙක් පරීක්ෂා කල පුද්ගලයින් 115 දෙනෙකුගෙන් 67 දෙනෙකුගෙන්ම වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වා ඇති බවයි.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදු කල කොරෝනා පරීක්ෂණ 17.800 ක ප්‍රතිපල මත ප්‍රජාවෙන් කිසිදු කොරෝනා අසදිතයකු වාර්තා වී නොමැත.
කෙසේ නමුත් එම ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ පසුවන කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඕස්ට්‍රේලියා විපක්ෂයෙන් ඩොලර් බිලියන 10 ක නිවාස අරමුදලක්
සිය අයවැය පිළිතුරු කතාව ඊයේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය ඉදිරිපත් කල අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese ඩොලර් බිලියන 10ක් වටිනා නිවාස අරමුදලක් සඳහා වන සැලසුම් ඉදිරිපත් කොට තිබේ.
කම්කරු පක්ෂයේ මෙම සැලසුමට අනුව වසර 5ක් කාලයක් ඇතුලත සමාජයට දැරිය හැකි මට්ටමෙන් නිවාස 30,000ක් ඉදිකෙරෙන අතර පවුල් හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සඳහා නිවාස 20,000ක් සහ ඉදිරි පෙළ සේවකයින් සඳහා නිවාස 10,000ක් ලබා දේ. එමෙන්ම බලශක්ති කර්මාන්තයන්හි ආධුනිකයින් 10,000ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දේ.
මේ අතර කම්කරු පක්ෂ නායක සඳහන් කොට සිටින්නේ වසංගතයක් යනු බොහෝ කාලයකට පසු රටක ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ රටේ අනාගතය නැවත සකස් කිරීමට ඇති අවස්ථාවක් වන අතර මෙවර ඕස්ට්‍රේලියා රජයේ අයවැය, තමන් නැවත බලයට තේරී පත්වීම සඳහා වන කෙටි කාලීන ලන්සුවක් වන බවයි.
ලිංගික හිංසනය පිලිබඳ චෝදනා හේතුවෙන් නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු සාමාජික තනතුරෙන් තාවකාලිකව ඉවතට
ලිංගික හිංසනය පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට විභාග වෙමින් පවතින්නේ තමන් සම්බන්ධයෙන් වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජික Gareth Ward සඳහා කොට සිටි.
ප්‍රාන්ත පොලිසිය විසින් 39 හැවිරිදි පුද්ගලයකුට එරෙහිව වන ප්‍රකාශ විමර්ශනය කිරීම සඳහා බලකායක් පිහිටුවා ඇති බව පසුගියදා සඳහන් කල අතර ඊට ප්‍රතිචාර වශයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සාමාජික Gareth Ward මේ බව සඳහන් කොට තිබේ
ඔහු තමන් වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මේ වනවිට පවුල්, ප්‍රජාවන් සහ ආබාධිත සේවා සඳහා වන අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.
බරපතල වැරදි සිදු කල සරණාගතයින්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්
ඔස්ට්‍රේලියාව තුල සරණාගතන් ලෙස පැමිණෙන බරපතල අපරාධ සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීම සඳහා නව නීති සම්පාදනය කෙරේ. මෙම නීතීන් මගින් ප්‍රධාන වශයෙන් මේ වනවිට රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටින පිරිස ඉලක්ක කෙරේ.
ඔස්ට්‍රේලියාවට ආරක්ෂක අවදානමක් සහිත බරපතල වැරදි සහිත පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදෙන අතර මෙවැනි පුද්ගලයින් ප්‍රජාවට මුදාහැරීම ආරක්‍ෂිත නොවන බව ප්‍රධාන පක්ෂ සඳහන් කොට සිටී
මානව හිමිකම් නීති මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දින නියමයක් නොමැතිව පුද්ගලන් රඳවා තබා ගැනීමට රජයට බලය පවතින බවයි.
ශ්‍රී ලංකාවේ එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන වල දිගින් දිගටම නොසන්සුන්තා, ඉහල රෝගීන් වාර්තාවත් අඛණ්ඩව
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 2249 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 135,796ක් දක්වා ඉහල ගොස් තිබේ. එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 18ක් ද වාර්තා වී තිබේ.
පවතින තත්වය මත ඉදිරි දින වලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා අසාදිත පිරිස සහ කොරෝනා හේතුවෙන් සිදු වන මරණ සංක්‍යාව ඉහල යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කොට සිටී එමෙන්ම ඔහු අවධාරණය කොට සිටින්නේ බ්‍රිතාන්‍ය සහ ඉන්දීය කොරෝනා ප්‍රබේද එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් හරහා සිදුව ඇති අතර නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා දැඩි අවධානයක් යොමු කල යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහනයටතේ පවතින එන්නත් කරන මධ්‍යස්ථාන තුල ඊයේ දිනයේත් නොසන්සුන්තා මතුව තිබේ.තමන් දිගු වෙලාවක් තිස්සේ පෝලිම් වල රැඳී සිටියද එන්නත් ලබාදෙන නිලධාරීන්ගේ හැඳුනුම් කම් මත වෙනත් පුද්ගලයින් පෝලිම් වල රැඳී නොසිට එන්නත් ලබාගැනීම සිදු කරන බව එම පිරිස චෝදනා කොට සිටී.
පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ මැයි 14 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

