SKIP TO MAIN CONTENT

ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සියල්ල සුදානම් (වාර්තා/SBS සිංහල)

තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල සදහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අස්ථිර තත්වයක පවතී අතර, ක්‍රීඩා උළෙල ආරම්භ වීමට පැය 24කට අඩු කාලයක් තිබියදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 271කට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව හිමි කර දී තිබේ.

Olympic Logo
Source: Tom Pennington/Getty Images

3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රසීලයේ රියෝ නුවරදී, රියෝ වේලාවෙන් අගෝස්තු 5දා රාත්‍රී 8:00 ට ආරම්භ වීමට නියමිතයි. එනම් ඕස්ට්‍රේලියානු වේලාවෙන් (Australian Eastern Standard Time) නම් අගෝස්තු 6දා  උදැසන 9:00 ට සමාරම්භක උළෙලේ කටයුතු ආරම්භ වීමට නියමිත බව සදහන්. වසර 120ක  ඉතිහාසයක් හිමි ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වෙන්නේ 31 වැනි වතාවටයි. රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවක් 11,000 කට අධික සංඛ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිතයි.

මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සදහා, 6000 කට අධික නර්තන ශිල්පින් පිරිසක් සහභාගිවීමට නියමිත අතර, උළෙල විචිත්‍රවත් කිරීමට ජනප්‍රිය පොප් ගායන  ශිල්පිනී  Katy  Perry  ද සහභාගී වීමට නියමිත මාධ්‍ය වාර්තා කර තිබේ. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සාපේක්ෂව ඉතා අඩු වියදමක් මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය සදහා වැය  කිරීමට Rio  බලධාරීන් තීරණය කර ඇති බව සමහරක් වාර්තා පෙන්වා දී තිබේ. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වියදමෙන් 10% ක් මෙමෙ සමාරම්භක උළෙල සදහා වැය කර ඇති බව සදහන්.

ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 410ක්

මෙවර ඔලිම්පික් උළෙලට  ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 410ක් සහභාගී වන අතර, සම්රම්භක උළෙලේ ඕස්ට්‍රේලියානු ධජය රැගෙන යාමේ අවස්ථාව හිමිව තිබෙන්නේ, පාපැදි  ශුරි Anna Meares  හටයි. සමාරම්භක උළෙලට පසුදින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තම ඉසව් වලට සහභාගී වීමට නියමිත බැවින් 100කට ආසන්න  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පමණක් සමාරම්භක උළෙලේ ගමන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික්‌ උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු සහභාගී  වන අතර  ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හට හිමිව තිබේ. මීට අමතරව පිහිනුම් ඉසව්වන් සදහා  මැතිව් අඹේසිංහ සහ කිමිකෝ රහීම්, බර  ඉසිලීමේ ක්‍රීඩක  සුදේශ් පීරිස්‌, වෙඩි තැබීමේ ක්‍රීඩක  මංගල සමරකෝන්, හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක  සුමේධ රණසිංහ, මැරතන් ක්‍රීඩිකා  නිලුකා රාජසේකර, ජුඩෝ ක්‍රීඩක  චාමර නුවන් ධර්මවර්ධන සහ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 271කට ඔලිම්පික් වරම්

තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල සදහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය  අස්ථිර තත්වයක පවතී අතර, ක්‍රීඩා උළෙල ආරම්භ වීමට පැය  24කට අඩු කාලයක් තිබියදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 271කට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව හිමි කර දී තිබේ.  තවත් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙකුට මෙවර ඔලිම්පික් උළෙල සදහා තරග වැදීමේ අවස්ථාව හිමි වීමට ඉඩ ඇති අතර එම නම් ඉදිරියේදී  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කිරීමට නියමිතයි.

Rio නුවරට දැඩි ආරක්ෂාවක්

මේ අතර ඔලිම්පික් උළෙල පැවැත්වෙන  බ්‍රසීලයේ Rio  නුවරට දැඩි ආරක්ෂාවක් යෙදීමට බලධාරීන් කටයුතු යොදා ඇති අතර, 80,000 කට අධික පිරිසක් ආරක්ෂාව සදහා යොදවා ඇතැයි  සදහන්.Rio  ඔලිම්පික් උළෙල සදහා ක්‍රියාත්මක මෙම ආරක්ෂක මෙහෙයුම එරට ඉතිහාසයේ  විශාලතම ආරක්ෂක මෙහෙයුම බවද සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now