SKIP TO MAIN CONTENT

සයිටම් විරෝධී උද්ඝෝෂණයට ලංකා ඉතිහාසයේ වැඩිම කඳුළු ගෑස් ප්‍රහාර.

Anti SAITM Protest
Source: Daily Mirror

2 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ඊයේ (17/05) දිනයේදී අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි වූ බව වාර්තා වේ.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් තුවාල ලද 21 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද අතර තවත් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

ඊයේ දිනයේ කොළඹ නගරශාලාව ආශ්‍රිත පෙදෙස්හි මෙම විරෝධතාව නොපවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝගයක් නිකුත් කර තිබියදීත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැස්වූ ශිෂ්‍ය සංගම් තුනේ සාමාජිකයෝ ‘සයිටම් අහෝසි කරණු....අධ්‍යාපනය හා සෞඛ්‍ය නොවිකුණනු‘ යනුවෙන් උද්ඝෝෂණය කරමින් කොළඹ යුනියන් පෙදෙස හරහා විහාර මහ දේවි උද්‍යානය අසළට පැමිණියහ. 

බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුළ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් හිදී මහජන සාමය කඩවන පරිදි සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි කිසිදු පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 106 (01) වගන්ති ප්‍රකාරව කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙනි.

විරෝධතාකරුවන් පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා තිබූ අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

පසුව උද්ඝෝෂණකරුවන් මාර්ගයේ අනෙක් පසට පිවිසීමත් සමගම කඳුළු ගෑස් ගැසීම ආරම්භ විය.

එවිට උද්ඝෝෂණකරුවන් විහාරමහා දේවී උද්‍යානයට ඇතුළු වූයෙන් පොලිසිය විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය.

මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.

උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර තිබූ අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ.

ඊයේ  දිනය පුරා 15 වතාවක් පමණ පොලිසිය කඳුළු ගෑස් ගැසූ අතර එය ශ්‍රී ලංකාවේ පැවැති උද්ඝෝෂණයකදී වැඩිම වතාවක් කඳුළු ගෑස් ගැසූ අවස්ථාව ලෙසද වාර්තා වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now