Highlights
- වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දේශසීමා මායිමේ වෙසෙන ජනතාවට ප්‍රාන්ත අතර සංචරණය සිමා කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වේ.
- කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම උදෙසා කම්කරු පක්ෂය විසින් 'දිරි දීමනා' ලබාදීමේ යෝජනාවක් මධ්‍යම රජයට ඉදිරිපත් කරයි.
- මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කරයි.
- බ්‍රිතාන්‍ය කොවිඩ් අවධානම මැද රට තුල සියලු සංචරණ සිමා ඉවත් කිරීමට පියවර ගනී.
- ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි.
වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දේශසීමා මායිමේ වෙසෙන ජනතාවට ප්‍රාන්ත අතර සංචරණය සිමා වේ
වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දේශසීමා මායිමේ වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය හේතුන්මත හැරෙන්නට ප්‍රාන්ත අතර සංචරණය තහනම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි. එය අද (2 Aug) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
මේ අනුව ප්‍රාන්ත දෙක අතර සීමා මායිම් කලාපයේ ජීවත්වන පුද්ගලයින් හට ප්‍රාන්ත අතර සංචරණයට අවසර ලැබෙනුයේ හේතු 6 ක් මත පමණි. වෛද්‍ය පහසුකම් ලබාගැනීමට, රැකියා කටයුතු, අධ්‍යාපනය, ක්‍රීඩා කටයුතු, සානුකම්පිත හේතූන් සහ කොරෝනා එන්නත ලබාගැනීම සඳහා යන හේතූන් 6 හැරෙන්නට වෙනත් කිසිඳු හේතුවක් සඳහා අනෙක් ප්‍රාන්තය වෙත යෑමට වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දේශසීමා මායිමේ වෙසෙන ජනතාවට අවසර නොලැබේ.
මේ සඳහා ප්‍රාන්ත සීමා ආසන්නයේ ආරක්ෂාවද තරකෙරෙනු ඇත. අනවශ්‍ය හේතුන් මත ප්‍රාන්ත අතර සංචරණයේ යෙදී සිට හසුවන පුද්ගලයින් ඩොලර් 5492 ක දඩයකට යටත් වනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසා සිටී.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී (3 Aug) අලුතෙන් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇත.
සිඩ්නි හි වැඩිහිටි නිවාසයකින් සහ රෝහලකින් කොරෝනා මතුවෙයි
බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක සේවා මධ්‍යස්ථානයක නේවාසික වයෝවෘද පුද්ගලයින් හට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක නිවාස වලට යලිත් කොවිඩ් තර්ජනය මතුවෙයි.
බටහිර සිඩ්නි හි 'වයෝමින්' වැඩිහිටි සත්කාරක නිවාසයේ මෙම කොරෝනා වෛරස ආසාදන මතුව ඇති අතර මේ වන විට ඔවුන් සියලු දෙනාම රෝහල් ගතකොට ඇත. එහි නේවාසික වැඩිහිටියන් 18 දෙනෙකුට සහ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ.
මෙම තත්වය මත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමේ වැදගත්කම, ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් නැවත අවධාරණය කර සිටී.
මේ අතර පසුගිය සතියේ සේවා මුර මාරුවීම් මාරුවීම් තුනක වැඩ කළ කොවිඩ් එන්නත ලබා ගත් රෝහල් සේවකයෙකු හට නැවතත් කොව්ඩ් ආසාදනය වීම නිසා සිඩ්නි හි වෙස්ට්මීඩ් රෝහලේ කාර්ය මණ්ඩලය 36 ක් මේ වන විටස්වයං හුදකලා වීමට යොමු කොට ඇති බව වාර්තා වේ.
ක්වින්ස්ලන්තයේ පාසල් වලට කොරෝනා තර්ජන
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අලුතින් ඇතිව තිබෙන කොරෝනා තත්වය එතරම් යහපත් නොවන බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පාසැල් දෙකක කොරෝනා ආසාදන වාර්තාවීමත් සමඟ මෙම අදහස් පලව ඇත. මේ වන විට මෙම තත්වය පාසැල් 6 ක් දක්වා වර්ධනය වී ඇති අතර පොදු ප්‍රවාහන මාර්ග ඇතුළුව අවදානම් සහිත ස්ථාන කිහිපයක් ද නම්කොට තිබේ.
ප්‍රාන්තයේ ගිනිකොන දිග කලාපයට පනවනු ලැබූ දින 3 ක lockdown කාලය මේ ව අවිට දින 7ක් දක්වා දීර්ඝ කොට ඇති අතර එය මෙම ඉරිදා සවස 4 ට අවසන් වීමට නියමිතයි. මෙම lockdown නීති, Ipswich, Scenic Rim, Lockyer Valley, Logan City, Brisbane, Moreton Bay, Redlands, Sunshine Coast, Noosa, Somerset සහ Gold Coast යන ප්‍රදේශ සඳහා බලපැවැත්වේ.
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට කම්කරු පක්ෂයෙන් 'දිරි දීමනා' ලබාදීමේ යෝජනාවක්
මේ වසරේ නත්තලට පෙර මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම උදෙසා මධ්‍යම රජයේ කම්කරු පක්ෂය විසින් 'දිරි දීමනා' ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව දෙසැම්බර් 1 දාට පෙර කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නා පුද්ගලයින් හට එක් වරක් පමණක් පිරිනමන ඩොලර් 300 ක දිරි දීමනාවක් ලබාදීමට මධ්‍යම රජයේ විපක්ෂය විසින් රජයට යෝජනා කොට ඇත.
මෙම වැඩසටහන සඳහා බදු මුදල් වලින් ඩොලර් බිලියන 5 ක මුදලක් වැය වෙනු ඇති බවට ඇස්තමේන්තු කොට ඇත. එහෙත් වරින් වර සිදුකෙරෙන lockdown කිරීම් හරහා ආර්ථිකයට සිදුවන පාඩුව එයට වඩා වැඩි බව කම්කරු පක්ෂය පවසා සිටී.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ අදහස වී ඇත්තේ පවතින කොරෝනා සීමා කිරීම් සම්පුර්ණයෙන් ඉවත් කිරීමට නම් මෙරට ජනතාවගෙන් සීයයට 80 ක ප්‍රමාණයක් වත් එන්නත්කරණයට ලක්විය යුතු බවයි.
කොරෝනා සීමා කිරීම් වලට හසුව රැකියා අහිමි වුනු සේවකයින් හට සහන දීමනා
කොරෝනා සීමා කිරීම් වලට හසුව රැකියා අහිමි වුනු සේවකයින් හට රජය විසින් ගෙවීමට යෝජනා කල සහන දීමනාව ලබාදීම අද සිට ආරම්භ වේ.
කොවිඩ් වසංගත සීමා කිරීම් හේතුවෙන් පැය 20 කට වඩා වැඩ අහිමි වූ සේවකයින් සඳහා වන ඩොලර් 750 ක ගෙවීම සමඟ Centerlink ප්‍රතිලාභ ලබන අය සඳහා අතිරේක ගෙවීම් අද සිට ආරම්භ කෙරේ
ගෙවීම් සාමාන්‍යයෙන් පැය 24 ක් තුළ සිදු කෙරෙන බව Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය
ගෙවුණු පැය 24 තුල ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 2,382 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 3,13,731ක් දක්වා ඉහළගොස් තිබේ.
එසේම ඊයේ දිනයේදී (2 Aug) ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 63ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රස පරීක්‍ෂක ගේ පරීක්ෂාවට
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනි ජූඩ් නමැති දැරියගේ සිරුරට ගිනි ඇවිලී මරණයට පත්වීමේ සිදුවීම සම්බන්දව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දිනයේදී පරීක්‍ෂාවකට ලක් කොට තිබේ.
මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් මන්ත්‍රී නිල නිවසේදී තවත් 29 හැවිරිදි මෙහෙකාර තරුණියක් ලිංගික හිංසනයට ලක් කර ඇති බව විමර්ශනවලදි අනාවරණ වී තිබේ. එම තරුණිය මන්ත්‍රිවරයාගේ නිවසේ 2009 සහ 2010 යන කාලසීමාවේදී සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ දිනයේදී අනාවරණය කොට සිටියේය.
මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොණු කළේය.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට මෙම රීට් පෙත්සම මඟින් ඔහු ඉල්ලා ඇතැයි වාර්තා වේ.
බ්‍රිතාන්‍යය කොවිඩ් අවධානම මැද රට තුල සියලු සංචරණ සිමා ඉවත් කරයි
ලොව ඇතැම් රටවල කැපී පෙනෙන අයුරින් කොරෝනා අස්සාද පැතිරීම ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
කොරෝනා වෛරස් පැතිරීම සීග්‍ර ලෙස උත්සන්න වීම හේතුවෙන් තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශවල කොරෝනා වයිරස් සීමා කිරීම් තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කොට ඇත. එසේම ඉරානයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දිනපතා නව ආසාදන වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේද පසුගිය සතියේ සිට දිනපතාම කොවිඩ් ආසාදිතයින් 20,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාවේ කේරල වැසියන් කනස්සල්ලට පත්ව සිටින බවද වාර්තා වේ.
මේ අතර, බ්‍රිතාන්‍ය රට තුල පවතී සියලු සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ වසංගත අවධානම තවමත් පවතින කාල සීමාවක මෙලෙස සංචරණ සීමා ලිහිල් කිරීම අභියෝගයක් ද වන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකන්ට අවස්ථාව දෙමින් තමාට ඉවත්ව යෑමට තමාට කාලය පැමිණ ඇති බව, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත තම සමුගැනීම පිළිබඳව දැනුම් දෙමින් සඳහන් කොට ඇත.
වසර 2009 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි 33 හැවිරිදි ඉසුරු උදාන විස්සයි 20 තරග 35ක් ක්‍රීඩා කර ඇත. එම තරඟ වලදී ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 256ක් රැස් කර ඇති අතර, දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 27කි. ඊට අමතරව ජාත්‍යන්තර එක්දින තරග 21කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු එහිදී ලකුණු 237ක් රැස් කොට ඇති අතර, දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 18කි.
ඕස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායමෙන් ඔලිම්පික් රන් පදක්කම් වරම් ගිලිහී යයි
ටෝකියෝ හිදී පැවැත්වෙන කාන්තා පාපන්දු තරඟාවලියේදී රන් පදක්කම වෙනුවෙන් වන තරඟය සඳහා අවස්ථාව ලබා ගැනීමට තරඟ වැදුණු ඕස්ට්‍රේලියා සහ ස්වීඩන් කාන්තා පා පන්දු තරඟයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ගෝල 1:0 ක් ලෙස පරදමින් ජය ලැබීමට ස්වීඩන් කාන්තා පා පන්දු කණ්ඩායම සමත්වූහ. ඒ අනුව ස්වීඩන් කණ්ඩායම රන් පදක්කම වෙනුවෙන් කැනඩාව සමඟ තරඟ වැදීමේ අවස්ථාව හිමිකර ගත්හ.
ඒ අනුව ඕස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝකඩ පදක්කම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ තරඟ වැදීමට සිදුවේ.
ඔස්ට්‍රේලියාව මෙවර ඔලිම්පික් උළෙලේ මේ වන විට රන් පදක්කම් 14 ක් ද ඇතුළුව සමස්ත පදක්කම් 32 ක් සමඟින් සිව්වන ස්ථානයේ පසුවේ.
පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - අගෝස්තු මස 3 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි

