Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පාර්ලිමේන්තුවේදී දුෂණයට ලක්වුණු බවට චෝදනා කොට සිටි ලිබරල් සේවිකාව පෞද්ගලිකව හමුවීමට අගමැති සැරසෙයි: අප්‍රේල් 15 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 15 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

Scott Morrison
Scott Morrison Source: AAP

Highlights

  • ඕස්ට්‍රේලියාවේ කොරොනා එන්නත්කරන වැඩසටහන වේගවත් කිරීමට එන්නත් ලබාදෙන විශාල සායන මධ්‍යස්ථාන ආරම්භ කෙරේ.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා මෙතෙක් ක්‍රියාත්මක වුනු කොරෝනා වයිරස් සීමා කිරීම් අද සිට ලිහිල් කෙරේ.
  • කැන්බරා පාර්ලිමේන්තුවේදී දුෂණයට ලක්වුණු බවට චෝදනා කරන බ්‍රිට්නිව පෞද්ගලිකව හමුවීමට අගමැති සැරසෙයි
  • අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් ශ්‍රී ලංකාව තුළ තහණම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
  • Johnson & Johnson කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ද රුධිර කැටි ඇතිවීමේ තර්ජනයට ලක්වෙයි.
  • ඇස්ට්‍රාසෙනෙකා එන්නත රට තුල සම්පුර්ණයෙන්ම නවතා දමන බව ඩෙන්මාර්කය කියයි
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කරයි

 ඕස්ට්‍රේලියාවේ කොරොනා එන්නත්කරන වැඩසටහන වේගවත් කිරීමට එන්නත් ලබාදෙන විශාල සායන මධ්‍යස්ථාන ආරම්භ කෙරේ

 ඕස්ට්‍රේලියාව, දැනට පවතින කොරොනා එන්නත්කරන වැඩසටහන වේගවත් කිරීම උදෙසා, එන්නත් ලබාදෙන විශාල සායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සූදානම් වේ. කම්කරු පක්ෂයේ සහ වෛද්‍ය අංශ වල මේ සඳහා පැවති දැවැන්ත ඉල්ලීම හමුවේ ඊට පවතින තම විරෝධය ඉවත්කොට ගැනීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කලේය.

 එසේම, ඕස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන වේගවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග පිළිබඳව ප්‍රාන්ත සහ ටෙරටරි නායකයින් සමඟ සාකච්ඡා කරන බවත්, ඒ සඳහා ජාතික කැබිනට් මණ්ඩලය සතියකට දෙවතාවක් රැස්කරලීමට තමා අපේක්ෂා කරන බවත් අගමැති ස්කොට් මොරිසන් පවසයි.

 ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කොරෝනා වයිරස් සීමා කිරීම් අද සිට ලිහිල් කෙරේ.

 ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය  පුරා මෙතෙක් ක්‍රියාත්මක වුනු කොරෝනා වයිරස් සීමා කිරීම් අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කෙරෙනු ඇත. ඒ අනුව සාප්පු සහ ගෘහස්ථ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ.

පවුලේ සාමාජිකයින්ට සහ අමුත්තන්ට, රෝහල්, බන්ධනාගාර සහ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන හා ආබාධිත සත්කාර මධ්‍යස්ථානවල වල සිටින තම ආදරණීයයන් දැක ගත හැකිවේ.

සිනමාහල්, රංග ශාලා සහ ක්‍රීඩාංගණ වැනි විනෝදාස්වාදක ස්ථානවල ධාරිතාවය පෙර පරිදි සියයට සියයක මට්ටමකින් පවත්වාගැනීමට ද හැකියාව ලැබේ.

කැන්බරා පාර්ලිමේන්තුවේදී තමා දුෂණයට ලක්වුණු බවට චෝදනා කරන බ්‍රිට්නිව පෞද්ගලිකව හමුවීමට අගමැති සැරසෙයි

පාර්ලිමේන්තු කාර්යාල පරිශ්‍රයේදී තමා දුෂණයට ලක්වුනු බවට චෝදනා එල්ල කල හිටපු ලිබරල් පක්ෂ සේවිකාවක වන බ්‍රිටනි හිගින්ස් හමුවීමට අගමැති ස්කොට් මොරිසන් සූදානම් වේ.

2019 වසරේදී තමා ලිබරල් සන්ධාන රජයේ අමාත්‍යමණ්ඩල සේවිකාවක ලෙසින් සිටියදී, පාර්ලිමේන්තු සංකීර්ණයේදී තමා සෙසු අමාත්‍ය මණ්ඩල උපදේශක යෙකු  විසින් ලිංගික අතවරයට ලක්කල බවට ඇය මාධ්‍ය හමුවේ අනාවරණය කොට සිටියාය.

ඇයට සිදුවුනු මෙම අසාධාරණය පිළිබඳව පෞද්ගලිකව ඇය හමුවී සාකච්චා කිරීමට අගමැති ස්කොට් මොරිසන් අපේක්ෂා කරයි. කෙසේවෙතත් මෙම පෞද්ගලික හමුවීම සඳහා වන ස්ථානයක් තවම තහවුරු කර නොමැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

බ්‍රිට්නි හිගින්ස් විසින් ඉදිරිපත්කල දුෂණ චෝදනා වලින් අනතුරුව සති ගනනාවක් තිස්සේ පැවති දේශපාලන බලපෑම්වලින් පසුව අගමැති ස්කොට් මොරිසන් විසින් බ්‍රිට්නි හිගින්ස් මෙලෙස පෞද්ගලිකව හමුවී මේ පිළිබඳව සාකච්චා කිරීමට ඉදිරිපත් වුනු බවද වාර්තාවේ.

ඕස්ට්‍රේලියාවේ සැලකිය යුතු සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය නිසා මියයන බව හෙලිවෙයි

වසර 2019 දී ඕස්ට්‍රේලියාවේ දිනකට පුද්ගලයින් 5 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ගොදුරුව මරණයට පත්ව ඇති බව, ජාතික ඖෂධ හා මධ්‍යසාර පර්යේෂණ මධ්‍යස්ථානයේ නවතම පර්යේෂණවලින් හෙළි වී තිබේ.

මෙරට තුල කොකේන් සම්බන්ධ මත්ද්‍රව්‍ය මගින් ඇති වන මරණ සංඛ්‍යාව 2016 සිට දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර ඇම්ෆෙටමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ සංඛ්‍යාව මීට දශකයකට පෙර තිබු සංඛ්‍යාවට වඩා සිව් ගුණයකින් වැඩි බවද හෙළිව ඇත.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඔපියොයිඩ්ස් නම්වුනු මත්ද්‍රව්‍ය නිසා බව සංඛ්‍යාලේඛන වලට අනුව පෙනී යයි. වසර 2019 දී ඔපියොයිඩ්ස් මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇති ඇස්තමේන්තුගත මුළු මරණ සංඛ්‍යාව 1121 ක් ලෙසට වාර්තා වේ.

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් ශ්‍රී ලංකාව තුළ තහණම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් ශ්‍රී ලංකාව තුළ තහණම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහාමදියා සංවිධානය, දාරුල් අදර් ජමි උල් අදර් සංවිධානය, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ISIS සංවිධානය, අල් කයිඩා සංවිධානය, සේව් ද පර්ල්ස් සංවිධානය සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙලෙස ශ්‍රී ලංකාව තුල තහනම් සංවිධාන අතරට අයත්වේ.

මෙම සංවිධාන වල සාමාජිකත්වය ලබා ගැනීම, ඒවායේ සාමාජිකයන් සමග ගණුදෙනු කිරීම, එවැනි සංවිධාන ප්‍රවර්ධනය, සාමාජිකයන්ට රැකවරණය දීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම හෝ කිසියම් ගණුදෙනුවක නිරතවීම වැනි කරුණු මේ අනුව තහනම් කර තිබේ. මෙම නියෝග කඩ කරන කිසියම් අයෙකු වෙතොත් වසර 10 ත් 20 ත් අතර කාලයක් සඳහා සිර දඩුවමකට ලක් කල හැකිය. එමෙන්ම එවැනි සංවිධානවල සාමාජිකයන්ගේ චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට හැකි බව ද එම අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන්වේ.

Johnson & Johnson කොරෝනා එන්නත ද රුධිර කැටි ඇතිවීමේ තර්ජනයට ලක්වෙයි.

Johnson & Johnson කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට පමණක් ලබාදෙන බව, එන්නත භාවිතය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ රජය පවසා සිටී. Johnson & Johnson කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ද අස්ට්‍රසෙනෙකා එන්නත මෙන් ඇතැම් පුද්ගලයින් සඳහා රුධිර කැටි ඇතිවීමේ  අනතුරුදායක තත්වයක් පෙන්නුම් කරනු ලැබ ඇත.

කෙසේවෙතත් රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි පවසන්නේ මෙම එන්නත මඟින් රුධිර කැටි ගැසීමක් ඇතිවීමේ අවදානම ඉතා අඩු බවයි.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය ආයතන විසින් Johnson & Johnson කොරෝනා එන්නත් භාවිතය නවතා දැමීමට නිර්දේශ කර ඇත

ඇස්ට්‍රාසෙනෙකා එන්නත රට තුල සම්පුර්ණයෙන්ම නවතා දමන බව ඩෙන්මාර්කය කියයි

AstraZeneca එන්නත් භාවිතය තම රට තුල සම්පුර්ණයෙන්ම නවතා දමන බව ඩෙන්මාර්ක් රජය පවසා සිටී. AstraZeneca එන්නත මඟින් රුධිර කැටි ඇතිවීමේ අවස්ථා දුර්ලභ වුවද එමඟින් අවධානමක් ගැනීමට සුදානම් නොමැති බවද ඩෙන්මාර්කය පවසයි. මේ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ස්ථිරවම නතර කරන බව නිවේදනය කළ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පත්ව ඇත.

මෙම තීරණය සමඟ ඩෙන්මාර්කයේ එන්නත් කිරීමේ වැඩසටහන අවසන් කිරීමේ කාල වකවානුව තවදුරටත් දීර්ඝ වනු ඇත. මීට පෙර එය ජූලි 25 දිනට අවසන් වීමට නියමිතව තිබිණ. මෙම තීරණයත් සමඟ එය අගෝස්තු මස මැදභාගය දක්වා දීර්ඝ වනු ඇති බව ඩෙන්මාර්ක් රජය විශ්වාසය පලකොට සිටී.

රජයේ මෙම තීරණය පිළිබඳව පැහැදිලි කොට සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ සෝරෙන් බ්‍රොස්ට්‍රෝම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන ආකාරයේ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කරයි. 

දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදු වන ආකාරය පිළිබඳ වන මෙම නිර්දේශ, අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී තිබේ. එය අප්‍රේල් 21 දා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට පෙර සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අනාවරණය කොට සිටියේය.

නව කොන්ත්‍රාත් ගිවිසුම් අනුව තරග ජයග්‍රහණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතර ප්‍රසාද දීමනා හිමි වේ. එමෙන්ම පිතිකරුවන් හා පන්දු යවන්නන් දක්වන පෞද්ගලික දක්ෂතා අනුව ගෙවීම් වැඩි කිරීමද නව කොන්ත්‍රාත් ගිවිසුම අනුව සිදුවේ.

පහත සබැඳියෙන් SBS සිංහල සේවයේ අද - අප්‍රේල් 15 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි


6 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now