ලෝකයේ මෙතෙක් බිහිවූ සුපිරිම පා දඟ පන්දු යවන්නා ඔහුයි.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩා විශේෂඥයින් හඳුන්වන පරිදි ශ්‍රීමත් Donald Bradman ගෙන් පසුව ඔස්ට්‍රේලියාව බිහි කළ දෙවැනි හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
Shane Keith Warne හෙවත් කොයි කවුරුත් දන්නා Shane Warne වයස 52 ක්ව සිටියදී හදිසි හෘදයාබධයකින් තායිලන්තයේ සිටින විට මිය ගිය පුවත මේ වන විටත් ලෝක ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය මහත් කම්පාවට පත්කර ඇත.
පසුගිය සිකුරාදා Warne මිය යාමට පෙර ඔස්ට්‍රේලියාවේ හිටපු කඩුලු රකින ක්‍රීඩක Rodney William Marsh මිය ගිය අතර Marsh ගේ අභාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කර Warne ට්විටර් සටහනක්ද පළ කළේය.
90 දශකයේ ලෝකයම පන්දුවෙන් හෙල්ලූ මෙම ඔස්ට්‍රේලියානු සුපිරි තරුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වංශ කතාවේ සදා නොමැකෙන චරිතයකි.
ඔස්ට්‍රේලියාවට පමණක් නොව ඔහු ලංකාවේද නොමැකෙන ක්‍රිකට් තරුවකි.

රාජ්‍ය අනුග්‍රහය සහිත අවමංගල්‍ය උත්සවයක්
අභාවප්‍රාප්ත Shane Warneගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ප්‍රමුඛ වික්ටෝරියානු ප්‍රාන්ත රජය Warneගේ පවුලෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඔහුගේ මෘත දේහය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ කටයුතු ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මැදිහත්වී මේ වන විට සිදු කරමින් සිටිනවා.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Warneගේ මෘත දේහය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත් පසුව ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ තීරණය කෙරෙනු ඇති.
1969 සැප්තැම්බර් 13 වන දින මෙල්බර්න් කලාපයේ Upper Ferntree Gully නැමති සුන්දර උප නගරයේ උපත ලැබූ Warne හට වයස 24 ක 20 ක දියණියන් දෙදෙනෙකු මෙන්ම වයස 22 ක පුතෙකු සිටිනවා.

Shane Warne ට MCG යෙන් සුවිශේෂී උපහාර
Shane Warne වෙනුවෙන් ස්ථිර උපහාර ප්‍රතිමාවක් MCG හෙවත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කෙරෙනු ඇත.
ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ඓතිහාසික අවස්ථා රැසක් සටහන් කළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය MCG වීම ඊට හේතුවයි.
එමෙන්ම MCG ක්‍රීඩාංගණයේ දැනට තිබෙන Great Southern Stand හෙවත් Great Southern ප්‍රේක්ෂකාගාරය SK Warne Stand හෙවත් SK Warne ප්‍රේක්ෂකාගාරය ලෙස නම් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ප්‍රමුඛ වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

2006 වසරේ පැවති Boxing දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී Warne තම 700 වන කඩුල්ල දවා ගත්තේ එම අන්තයේ සිට වීම ඊට ප්‍රධානතම හේතුව වෙනවා.
එමෙන්ම 1994 අළුබඳුන තරගාවලියේ ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 91 වැනි ක්‍රීඩකයා බවට Warne පත්වූයේ ද එහිදීයි.
මේ වන විට MCG පරිශ්‍රයේ ඇති Shane Warne ගේ ප්‍රතිමාව සවිකිරීමට නියමිත ස්ථම්භයට ඔහුගේ ක්‍රිකට් රසිකයින් මල් කළඹ, බීර බෝතල් වැනි දේවල් තබමින් සිය ගෞරවය පුද කරමින් සිටිනවා.

Shane Warneගේ ක්‍රිකට් දිවිය
ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට පෙර තම ආදරණීය St Kilda කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කිරීමට Shane Warne අදහස් කළේය.
1992 ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට පෙර ඔහු ක්‍රීඩා කළේ පළමු පෙළ තරග හතක් පමණි. එතැන් පටන් ඔහු 2007 වසරේදී ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 145කට සහභාගී වෙමින් ටෙස්ට් කඩුලු 708ක් දවා ගැනිමට සමත් වුණා.
එමෙන්ම ඔහු එම කාලය තුළ එක්දින තරග 194 කදී කඩුලු 293 බිඳ හෙලීමටද සමත් වුණා.
එවකට සිටි ප්‍රතිවාදී කණ්ඩයම් වල පිතිකරුවන්ට හිසරදක් වු Shane Warne ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.
1994 වසරේ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී එංගලන්ත පිතිකරුවන් භීතියට පත් කළ Warne ලකුණු 71කට කඩුලු 8ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
Warne 1999 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේද ප්‍රබල සාමාජිකයෙක්.

2003 වසරේදී තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් Warne ට වසරක තරග තහනමක්ද පැනවුණු අතර මේ හේතුවෙන් ඔහුට 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද අහිමිවී ගියා.
1992 වසරේ සිට Shane Warne වසර 15ක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. 2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු 2008 වසරේ පැවති පළමු IPL ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වූයේ Shane Warne නායකත්වය දැරු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
වසර කිහිපයක් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ෂේන් පසුව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඉන් අනතුරුව ක්‍රිකට් පිටියට සමුදුන් ෂේන් වෝන් තරග විස්තර විචාරයටද එක් වුණා.
2013 වසරේදී ඔහුට ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවියේ ලැබිය හැකි ඉහළම සම්මානය වන ICC Hall of Fame සම්මානයද ලන්ඩන් නුවරදී හිමි වුණා.

සමකාලීන ක්‍රීඩකයින්ගේ මතක සටහන්
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ තවත් එක් සුපිරිම කඩුලු රකින්නෙකු සහ ආරම්භක පිතිකරුවෙකු වූ Adam Gilchrist විසින් Shane Warne ගේ වෙන්වීම පිළිබඳ පහත අයුරින් ට්විටර් සටහනක් පළ කර සිටියා.
Warneගේ සමයේදී ඔහුගේ දඟ පන්දුවලට සාර්ථකව පහර දුන්නේ පිතිකරුවන් අතළොස්සකි.
ඒ අතළොස්ස අතරින් කොදෙව් කණ්ඩායමේ Brian Lara මෙන්ම ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ප්‍රමුඛත්වයක් ගත්තා.
Shane Warne ගේ හදිසි වියෝව පිළිබඳ කොදෙව්වන්ගේ සිනා සලන භටයා නොහොත් Brian Lara ද පහත අයුරින් ට්විටර් සටහනක් පළ කර සිටියා.
ඔස්ට්‍රේලියාවේ සාර්ථකම ක්‍රිකට් නායකයා ලෙස හඳුන්වන Ricky Ponting ද Warne ගේ වෙන්වීම පිළිබඳ පහත අයුරින් ට්විටර් සටහනක් පළ කර සිටියා.
ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ එවකට දුෂ්ඨයා පසුව හිත හොඳ මිනිසා වූ වගයි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන විට 90 දශකයේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා බහ වීම නිරායාසයෙන්ම සිදුවන්නක්.
එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රධානතම දුෂ්ඨයා වූයේ Shane Warne ය.
1995 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පවා Shane Warne ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේද ප්‍රධාන සතුරෙක් වුණා.
එහිදී අර්ජුන සහ වෝන් අතර ඇතිවූ උණුසුම් සිදුවීම් ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට කෙදිනවත් අමතක නොවනු ඇති.
විශේෂයෙන්ම 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අර්ජුන විසින් වෝන්ගේ පන්දුවකට කෙලින් එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙසින් වෝන්ගේ දෑත් අතරින් ගමන් කිරීම ඉන් එක් සිදුවීමක්.
ඉන් පසුව වෝන් දැමූ ෆුල්ටොස් පන්දුවකට අර්ජුන විසින් 6 පහරක් එල්ල කිරීම එම උණුසුම තීව්‍ර කළ තවත් සිදුවීමකි.
කෙසේවෙතත්, Shane Warne ගේ අභාවයත් සමග අර්ජුන රණතුංග සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තැබුවා.
එවකට ක්‍රිකට් පිටියේදී ඉතා ගැටුම්කාරී සහ තරඟකාරී සබඳතාවක් පැවැත්වූ නමුත් අපි එකිනෙකාට අසීමිත අන්‍යෝන්‍ය ගෞරවයක් තිබුණු බව අර්ජුන එයින් කියා සිටිනවා.

නමුත් ලංකේය ප්‍රේක්ෂකයින්ට දුෂ්ඨයා වූ Shane Warne 2004 සුනාමි ව්‍යසනයත් සමග ශ්‍රී ලංකාවට පැමිණියා.
එහිදී ඔහු සුනාමියෙන් විපතට පත් ගම් බිම් මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ද දැක අතිශය කම්පාවට පත් වුණා.
ලෝකයේ මෙතෙක් බිහිවූ සුපිරිම පිට දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ආරාධනාවෙන් ඔහු ගාල්ලට පැමිණ සුනාමියෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීමට එක හෙළා ඉදිරිපත් වුණා.
එම මතකය පිළිබඳ මුරලි සිය ට්විටර් ගිණුමේ මේ අයුරින් සටහනක් තබා තිබෙනවා.

