ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් මහතා සහ පුහුණු කාර්යමණ්ඩලයේ තවත් දෙදෙනෙකු මේ මස 29 වැනිදා පාකිස්තාන ක්‍රිකට් පිළ සමග ලාහෝරයේදී පැවැත්වෙන 20 - 20 තරගය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.
ලාහෝරයට පැමිණීමේදී රාජ්‍ය නායකයකුට ලැබෙන ආරක්‍ෂාවට සමාන ආරක්ෂාවක් සැපයීමට පාකිස්තානය පොරොන්දු වී සිටියදී ඔවුන් මෙලෙස එහි යාම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා වන නිර්මලන් ධනබාලසිංහම් සහ අභ්‍යාසකවරයා වන නික් ලී දෙදෙනාත් පුහුණු කාර්යමණ්ඩලයේ අය අතුරින් ලාහෝර් යාම ප්‍රතික්ෂේප කරති.
එසේ වුවද කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ඇතුළු පුහුණු කාර්යමණ්ඩලයේ සිටින හය දෙනෙක් ලාහෝර් යාමට කැමැත්ත පළකර තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ රක්‍ෂණාවරණයක් තමන්ට ලබා දෙන්නේ නම් පමණක් තමන් ලාහෝරය බලා යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් පවසා ඇති බව සඳහන්.
නමුත් එක් එක් අය සඳහා ඩොලර් මිලියනයක රක්‍ෂණාවරණයක් බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් නොමැති බව එම ආයතනය පවසයි.
ලාහෝර් තරගය සඳහා සහභාගි වීමට අකමැත්ත පළකළ නායක උපුල් තරංග, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල සහ චාමර කපුගෙදර 20-20 සංචිතයෙන් ඉවත් කරන ලද අතර ඔක්තෝබර් 26 වැනිදා සහ 27 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන තරග දෙකටම සහභාගි වීමේ අවස්ථාවද ඒ අනුව ඔවුන්ට අහිමිවී තිබේ.
ඒ අනුව තිසර පෙරේරා 20-20 කණ්ඩායමේ ශ්‍රී ලංකා නායකත්වය දරනු ඇත.
වසර දෙකකට ඉහතදී තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයට පැමිණි නමුත් අන් කිසිදු ප්‍රධාන පෙළේ ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් නොමැති බවද වාර්තා වේ.

