ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (12/06) පැවති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත් කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 49 යි පන්දු දෙකකදී සියල්ලන්ම දැවී ලකුණු 236 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
නිරෝෂන් දික්වැල්ල අගනා ලකුණු 73 ක් ලබා ගත් අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් ලබා ගත්තේය.
ලකුණු 237 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 5 කදී කඩුලු 7 කට ලකුණු 237 ක් ලබා තරගයේ ජය වාර්තා කළේය.
පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 61 ක් ලබා ගත් අතර ෆකාර් සමාන් ලකුණු 50 ක් රැස් කළේය.
ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ් ලබා දුන් පහසු උඩ පන්දු දෙකක් අත්හැරීම හේතුවෙන් තරගයේ ජය ශ්‍රී ලංකාව කෙරෙන් ගිලිහී ගිය බව පෙනෙන්නට විය.
කෙසේවෙතත්, ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට මූලිකවම හේතුවූ බව ක්‍රිකට් විචාරකයින් පවසයි.
තරගයේ වීරයා සම්මානය පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ් හට හිමි විය.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමග පාකිස්තාන කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග හෙට (14/06) දිනයේදී ප්‍රථම අවසන් පූර්ව තරගයට සහභාගී වනු ඇත.

