SKIP TO MAIN CONTENT

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට සියල්ල සූදානම්

Sri Lanka General election
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

හෙට (05/08) පැවැත්වෙන ශ්‍රී ලංකාවේ "මහ මැතිවරණය" සඳහා සියලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු ප්‍රකාශ කරති.

පසුගිය ජුනි 09 වෙනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ පරිදි, දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313 නියෝජනය කරමින් අපේක්‍ෂකයන් 7,452 ක් මෙවර මහ මැතිවරණයට තරග වදිති.

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 24ක් පැවතුණ ද, මැතිවරණය සඳහා එම දිස්ත්‍රික්ක 24 මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් බවට පත්ව තිබේ.

ඒ අනුව මන්නාරම, මුලතිවු සහ වවුනියා පරිපාලන දිස්ත්‍රික්ක තුන වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව තිබෙන අතර රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන මැතිවරණය පැවැත්වීමට සියලු පියවර ගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මෙවර මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1,709,209 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන අතර අපේක්ෂකයින් 19 දෙනෙකු පාර්ලිමේන්තුව සඳහා තෝරා ගැනීමට නියමිත බවද සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 26ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 924 දෙනෙක් ඉදිරිපත් වී සිටින බවද කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන් දහස් අට සිය අසූපහක් වන බව වාර්තා වේ.

ඔවුන් සඳහා ඡන්ද කොට්ඨාස 12,774ක් වන බවත් ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පිහිටි ඡන්ද පරිශ්‍ර 11,102ක් ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now