මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට අද (ඔක්තෝබර් 20) සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
සුදුසුකම් ලැබීමේ වටය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 16 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ජය සනිටුහන් කළේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.
එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 5 ක් අඩංගු විය.
කුසල්ට අනගි සහයක් ලබා දුන් චරිත් අසලංක ද පන්දු 30 කදී ලකුණු 31 ක් ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 163 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3 ක්ද මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් ද ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් ද දවා ගැනීමට සමත් වූහ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන
නෙදර්ලන්තය සමග අද (ඔක්තෝබර් 20) පැවති තරගය ජය ගැනීමත් ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 4 ක් සමග 0.667 ක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව A ඛාණ්ඩයේ පළමු තැනට පත්ව තිබේ.
අද පැවැත්වෙන නැමීබියා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයේදී යොමුවෙන ඛාණ්ඩය තීරණය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ලැයිස්තුව ඉහළ යයි
පසුගිය තරගයේදී ආබාධයට පත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙපළ වූ දුෂ්මන්ත චමීර සහ ප්‍රමෝද් මධුසංඛ වෙනුවට අද තරගය සඳහා ලහිරු කුමාරත් බිනුර ප්‍රනාන්දුත් ක්‍රීඩා කළෝය.
මීට අමතරව ධනිෂ්ක ගුණතිලක ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව බලා ඒමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇත.
එමෙන්ම අද (ඔක්තෝබර් 20) පැවති තරගයේදී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්වූ අතර ඔහු මේ වන විට MRI scan පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.
ඔහුගේ තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් දැනට ලබා නොදිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සහ නායක දසුන් ශානක පැවසීය.

සැලකිය යුතු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙයි
අද දිනය සතියේ රාජකාරී දිනයක් බැවින් තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ ප්‍රමාණය සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි.
නමුත් සැලකිය යුතු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් අද තරගය නැරඹීම සඳහා Geelong Kardinia Park ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ.
වෙනදාමෙන් සිංහ ධජ අතැතිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට්වලින් සැරසී ඔවුහු අදත් ක්‍රීඩා පිටිය වර්ණවත් කළහ.
තරගය ආරම්භ වීමට පෙර Geelong Kardinia Park ක්‍රීඩාංගනයේ ප්‍රධාන පිවිසුම අසළ ක්‍රියාත්මක වූ Face Painting ස්ථානයේදී බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වර්ණවලින් සහ සිංහ රුවින් තම මුහුණු වර්ණවත් කරගත්හ.
බාල, තරුණ, වැඩිහිටි සියලු වයස් ඛාණ්ඩවල පිරිස් ඒ අතර විය.
ඔස්ට්‍රේලියාවේ කුමන ක්‍රීඩාංගනයක වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට ලාංකේය ක්‍රිකට් සංගීතය පතුරුවන "මෙල්බර්න් පපරේ" කණ්ඩායම අදත් Geelong Kardinia Park පිටියේදී සිය සංගීත නාදය පතුරුවා හරිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට ද විශාල ජවයක් ගෙන දුන්නේය.

