ඕස්ට්‍රේලියාවේ ෆිලිප් දුපතේ තිබෙන ඇබොරිජිනල් භාෂාවෙන් " සුන්දර දසුනක්" ලෙසින් නම් ලද ඔමාරු ගොවිපලේ අධිපතිනි රෝසි මොරර් මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවේ තොරතුරු මෙම ලිපියේ අන්තර්ගත වේ.
එක් පසෙකින් වෙරළ තීරයත්, අනෙක් පසින් පෞරාණික තණබිම් වලට එපිටින් පෙනෙන බටහිර වරාය සහ නොබීස් ප්‍රදේශයත් ෆිලිප් අයිලන්ඩ් හි ඔමාරු ගොවිපලට ගෙන දෙන්නේ මන්ස්කාන්ත වටපිටාවක්.
නිදැල්ලේ හැසිරෙන ගව රැළත්, කිකිළි බිත්තර ගොවිපොළත් , ගොවිපොලේ කාබනික පොහොරෙන්ම ඵල දරන එළවලු වගාවත් කියාපාන්නේ එහි ඇති සරුසාර බවයි. හැඩට එක පෙළට පිහිටි ඔලිව් ගස් වත්ත ගොවිපලේ සුන්දරත්වයට මෙන්ම සරුසාර බවට අගයක් එක් කරනු ලබයි.
ෆිලිප් දූපතේ සුලබ දසුනක් වන, අක්කර 250 ක සුවිසල් ඔමාරු ගොවිපලේ , විශාල ට්‍රැක්ටරයක් පදවාගෙන යන කාන්තාවක් දුටුවොත් ඒ රෝසි මෝරර් මහත්මියයි.
ඕස්ට්‍රේලියානු ආගමනය සහ මුල් කාලයේ ඔස්ට්‍රේලියානු ජීවිතය ගත වූ හැටි
ඇය ශ්‍රී ලංකාවෙන් කෘෂිකර්මය හැදෑරීමට මීට වසර තිස්තුනකට පෙර, එනම් 1989දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවාය. ලංකාවේ සොයුරියන් පස් දෙනෙකු හා සොයුරෙකුගෙන් යුතු පවුලක දෙවෙනි දරුවා වූ රෝසි ඕස්ට්‍රේලියාවේ දී විවාහපත් වී ඇගේ සැමියා සමඟ ෆිලිප් දූපතේ ගොවිපලේ පදිංචියට ගොස් තිබේ.
ගොවිපලේ සියලු කටයුතු සිය සැමියා අතින් පමණක් ඉටු වූ බවත් ඇය ඔහුගේ උදව්වට ගේ දොර කටයුතු ඉටු කරමින් ගෘහණියක් ලෙස සිටි බව ඇය පැවසීය. ගොවිපල කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමට හෝ ඇයට එකල උනන්දුවක් නොවීය.
ගොවිපලක් පවත්වාගෙන යෑමට මුල පිරුණු හැටි
2009 වසරේදී රෝසිගේ සැමියා හදිසි හෘදයාබාධයකින් මියගියේ ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය ජීවිතයට ඉතා අපහසුවෙන් හුරු වෙමින් සිටි රෝසි සුවිසල් ගොවිපලක තනි කරමිනි.
සැමියාගේ වියෝවෙන් පසුව, ගොවිපොල කටයුතු කරන්නේ කෙසේදැයි තමන්ට කිසිදු අදහසක් නොතිබුණු බව ඇය SBS සිංහල ගුවන් විදුලි සේවයට සංවේදී වෙමින් පැවසුවාය.
" මට තනියෙන් ගැහැණියක් විදියට ඒ කාලෙදී ගොඩක් දේවල් වලට මුහුණපාන්න සිදු වුණා. මට ලංකාවෙ කියලා කිසිම කෙනෙක් ඒ කාලේ මෙහෙ හිටියෙ නෑ.ඒ කාලේ අපට අක්කර 450ක් තිබුණා. විසාල වත්තෙ සත්තු ටිකයි මමයි තනි වුණා. "

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
කාන්තාවක් වූ නිසාම ඇති වූ බාධක සහ අභියෝග
ගොවිපල තනිවම පවත්වාගෙන යෑමට දැනුමක් සහ හුරුවක් නොමැති කමින් පීඩාවට පත් වුණ රෝසිට ගොවිපල විකුණා දමා ආපසු ලංකාවට යන ලෙස අසල්වැසියන්ගෙන් විවිධ බලපෑම් එල්ල වී තිබේ. ඒ කාලයේ මුළු ෆිලිප් දූපතටම පිට රටකින් පැමිණ සිටි එකම කාන්තාව වූයේ ඇයයි. කාන්තාවක් නිසා ඇයට මෙවැනි ගොවිපලක් කිරීමට නොහැකි බැවින් ගොවිපල විකුණන ලෙස ප්‍රදේශවාසීන් දිගෙන් දිගටම කියා තිබේ.
ඒ සියළු බලපෑම් නොතකා, තනිවම කෙසේ හෝ ගොවිපල කරන බවටත් ගොවිපල දිනෙක සාර්ථක කර ෆිලිප් දූපතේ අසල්වාසීන්ටම පෙන්වන බවටත් රෝසි අධිෂ්ඨාන කර ගෙන තිබේ. ඒ අනුව,
පෙර දින වල දුටුවත් බිය වී සිටි විශාල හරක්ට කෑම දී බලා ගැනීමට ඇය තනිවම හුරු වී තිබේ.
කිසිදා අතින් අල්ලා නොතිබුණු විශාල ට්‍රැක්ටරය පදින්නට තනිවම ඉගෙන ගත් ඇය ගොවිපල කටයුතු සියල්ල ඉගෙන ගෙන ඉතා මහන්සි යෙන් ඒවා ඉටු කර තිබේ.
තනිවම ගොවිපල දියුණු කළ හැටි
රෝසි ගොවිපල බලා ගැනීමට පටන් ගන්නා විට හරක් කිහිප දෙනෙක්, කිකිළියන් කිහිප දෙනෙදෙනෙක් සහ ඔලිව් වත්තත් පමණක් එහි තිබුණි. ඇය අර්ධ කාලීන රැකියාවක නිරත වෙමින් ගොවිපලෙන් ලබා ගන්නා කිකිළි බිත්තරත්, ඔලිව් ගස් වලින් ඔලිව් කඩා තෙල් සාදා ඔලිව් තෙලුත්, ගොවිපලේ එළවළු වගා කර ඒ එළවළුත් පාරේ අද්දර තබාගෙන පාරිභෝගිකයන්ට විකුණුවාය. ඇගේ ගොවිපලේ නිෂ්පාදන වලට පාරිභෝගිකයන් හුරු වූ පසු ඇය සිය ගරාජයේ මේවා විකිණීමට පටන් ගෙන තිබේ.
එහිදී අසල්වැසියන් කළ පැමිණිල්ලකට අනුව කවුන්සිලයෙන් පැමිණ ගරාජ් එකේ ආහාර පාන විකිණිය නොහැකි බව පවසා තිබේ. මෙය ඇගේ ගමන නැවැත්වීමට ගත් උත්සාහයක් වුණත්, කාරුණික කවුන්සිල නිලධාරීන් කෑම බීම ආහාර පාන විකිණීමට කඩයක් දමා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ බලපත්‍ර ඇයට ලබා දීමට කටයුතු කර තිබේ.
අද වන විට ඇය හයිඩ්‍රොෆොනික් තාක්ෂණය යොදා ගනිමින් ගොවිපලේ සාර්ථක එළවළු වගාවක් සිදු කරගෙන යන අතර, එය රසායනික පොහොර භාවිතයෙන් තොරව, ගොවිපලේ කුකුල් පොහොර, බිත්තර කටු ආදිය පොහොරට හරවා ගනිමින් කාබනික වගාවක් ලෙස පවත්වා ගනු ලබයි.

නිවාඩු නිකේතන දෙකක් , වෙළඳ සැලක් සහ ආපන ශාලාවක්ද ඔමාරු ගොවිපලට රෝසි විසින් එක් කර තිබේ. ලංකාවේ එළවළු වර්ග ඇය විසින් වගා කරන බවත්, ගොවිපලේ කාබනික නිෂ්පාදන පමණක්ම වෙළඳ සැලේ අලෙවි කරන බවත් ඇය කියා සිටියාය. ශ්‍රී ලාංකේය අපේ ආහාර, ආපන ශාලාවේ ඇගේ අතින්ම පිළියෙල කරන බවත් අපේ ආහාර වලට මේ රටේ අයගෙන් ඉහළ ඉල්ලුමක් ඇති බවත් ඇය SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසුවේ මහත් වූ සතුටකිනි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ජීවිතය
ෆිලිප් දූපතේ එවකට සිටි එකම සංක්‍රමණික කාන්තාව වීම නිසාම අසල්වැසියන්ගේ බලපෑම් හමුවේ රෝසිට මුලදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ජීවිතය එතරම් පහසු එකක් නොවුණි. නමුත් නොපසුබට උත්සාහයෙන් ඇය මේ වන විට එම ප්‍රාදේශයේ අන් අයටත් උදව් උපකාර කරමින් ෆිලිප් දූපත් වාසීන් අතර ජනාදරයට ලක් වී සතුටින් ජීවත් වේ.
මහ රැයක වුවත් කෑම බීම සොයා ගැනීමට නොහැකිව පැමිණෙන ප්‍රදේශවාසීන්ට වසා දැමූ ආපන ශාලාවෙන් පවා ආහාර පාන් ඇය නොමිලේ සැපයීමට කාරුණික වෙයි.

ප්‍රදේශයේ සිසු දරුවන්ට අවශ්‍ය උදව් උපකාර කිරීමට පවා ඇය නොමසුරුව ඉදිරිපත් වෙයි.
මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ගැහැණියක් වුණාම ගැහැණියකට කරන්න බැරි දෙයක් නැහැ. හැමදෙයක්ම අපිට කරන්න පුළුවන්. හැම දෙයක්ම අපිට ඉගෙන ගන්න පුළුවන්. කිසිම කෙනෙක්ගෙන් උදව් නැතිව තනියම දුර ගමනක් එන්න මට පුළුවන් වුණා නම් මං කියන්නේ ඒ විදියට ජීවිතේට මුහුණ දෙන්න ඔයාලටත් පුළුවන් වෙන්න ඕනේ
සියලු බාධක ජය ගනිමින් අක්කර 250 ක සුවිසල් ගොවිපලක් තනිවම දියුණු කර ගනිමින් දිරියෙන් ආ ගමන් මග ගැන ඇය SBS සිංහල සේවය වෙත ආඩම්බරයෙන් පැවසුවාය.
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

