ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට නිල මට්ටමින් සංක්‍රමණිකයින් පැමිණීම ඇරඹෙන්නේ 19 වන සියවසේ අග භාගයේදීය.
එම කාලයේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට නිල මට්ටමින් පැමිණි පළමු සංක්‍රමණිකයින් සුළුතරය අතරින් ඔස්ට්‍රේලියානුවන් විසින් වැඩිම වාර ගණනක් වාර්තා කර ඇති එකම පුද්ගලයා වන්නේ තෝමස් බැස්ටියන් එළියස් හෙවත් T.B. එළියස්ය.
මොහුට පෙර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට උක් වගාව සඳහා කම්කරු ශ්‍රමිකයින් ලෙස පුද්ගලයින් ගෙන ආ බවට ඉතිහාස වාර්තා දක්වයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වෙමින් තිබුණු එකල ඔස්ට්‍රේලියාවේ සුද්දන් අතර වඩාත් ගෞරවයට පාත්‍රවූ සහ කතාබහට ලක්වූ එකම ශ්‍රී ලාංකිකයා T.B. එළියස්ය.
T.B. එළියස් ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ "මුතු වෙළෙඳාම" නිසාය.
එකල ලෝකයේ මුතු ව්‍යපාරිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් බහුතරයක් ඔහුව සොයා ඔස්ට්‍රේලියාවට පැමිණියේ ඔහු ලවා මුතු ඔප දමා ගැනීමට සහ ආභරණ සාදා ගැනීමටය.
ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වාර්තා කරන විට අපට T.B. එළියස්ව අමතක කළ නොහැකිම චරිතයකි.
White Australian Policy හෙවත් සුදු ජාතිකවාදී ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය පැවති සමයේ වුවද සුදු ජාතිකයින්ගේ ආදරය සහ ගෞරවය දිනාගනිමින් සුද්දන් සමග හරි හරියට එකට සිටි T.B. එළියස් ගැන අතීතය හෙළි කිරීමට ඔහුගේ මී මිණිපිරියක් වන සිඩ්නි නුවර වාසය කරන සුනේත්‍රා කරුණාරත්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය හා එක් වූවාය.

T.B. එළියස් ඔස්ට්‍රේලියාවට පැමිණීම
"මගේ පවුලේ උදවිය පැවසූ ආකාරයට T.B. එළියස් මහතා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙන්නේ 1887 වසරේ. ඔහු ලංකාවෙන් පිටත් වෙලා තියෙන්නේ ඔහුට වයස අවුරුදු 16 දී. මුලින්ම සිංගප්පුරුවට ගිහින් එහෙ කුමක් හෝ රැකියාවක් කරලා තමයි ඔස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ" සුනේත්‍රා කරුණාරත්න මහත්මිය, T.B. එළියස් මහතාගේ ඔස්ට්‍රේලියාවට පැමිණීම SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළාය.
T.B. එළියස් මහතා ගාල්ලේ බෝපේ ප්‍රදේශයේ උපත ලැබුවෙකි.
තුඩුගල බඩල්ගේ එළාරිස් නමින් උප්පත්ති නාමය සටහන් වූ ඔහු සිංගප්පුරුවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට තෝමස් බැස්ටියන් එළියස් විය.
රත්‍රන් සෙවීමට පැමිණි T.B. එළියස් මහතා මුතු කර්මාන්තයට හැරුණු ආකාරයත් කරුණාරත්න මහත්මිය අපට මේ අයුරින් විස්තර කළාය.
"එළියස් මහතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඒ කාලේ ඔස්ට්‍රේලියාවේ රත්‍රන් සොයාගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වීම නිසා. නමුත් ඔහු පැමිණෙන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Pilbara කලාපයේ රත්‍රන් අවසන් වීගෙන යන කාලේ. නමුත් ඔහු ලංකාවට ආපහු යන්නේ නැතිව මුතු කර්මාන්තයට යොමු වුණා."
T.B. එළියස් මහතා ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ආභරණ කර්මාන්තයේ යෙදී සිටි නිසා ඔහුට ඒ ආශ්‍රිත විවිධ උපකරණ සහ මෙවලම් භාවිත කිරීමට මනා හැකියාවක් තිබුණි.
එනිසාම ඔහුට මුතු ඔප දැමීමේ සූර හැකියාවක් තිබුණු බව ද කරුණාරත්න මහත්මිය පැවසුවාය.
"ලූනු ගෙඩියක සිවිය ගලවනවා වගේ තට්ටුවෙන් තට්ටුව මුතු ඇටයක සිවිය ගලවා එය ඔප දැමීමට ඔහුට පුදුම හැකියාවක් තිබුණා. ඔහුට තියෙන්නේ "Magic Fingers" කියලා බොහෝ දෙනෙක් කිව්වා. එතරමට ඔහුගේ මුතු ඔප දැමීම ඉතා සියුම් සහ විස්මයජනකයි." කරුණාරත්න මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

"මුතු දොස්තර" ලෙස නම පට බැඳීම
T.B. එළියස් මහතා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Broome කලාපයේ වාසය කරමින් තම මුතු කර්මාන්තය කරගෙන ගියේය.
ඔහුගේ මුතු ඔප දැමීමේ අද්විතීය දක්ෂතාව නිසා ලොව සතර දෙසින් ප්‍රභූවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම මුතු ව්‍යාපාරිකයින් එළියස් මහතාගේ සේවය ලබාගැනීමට Broome වෙත පැමිණි බව කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
එකල ඔහුව අභිබවා යාමට සමත් මුතු ඔප දමන්නෙකු හෝ මුතු කර්මාන්තකරුවෙකු නොසිටි බවද ඔහු පිළිබඳ ලියවී ඇති ග්‍රන්ථ හා ලිපිවලින් කියවේ.
මේ හේතුවෙන්ම "Pearl Doctor" හෙවත් "මුතු දොස්තර" යන අන්වර්ථ නාමයෙන් T.B. එළියස් මහතාව හැඳින්වීමට එකල කටයුතු කෙරිණි.
එකල ඔස්ට්‍රේලියාවේ "සුදු ජාතිකවාදී ප්‍රතිපත්ති" ක්‍රියාත්මක වුවද T.B. එළියස් මහතා හට කිසි ලෙසකින් වෙනස් කොට සැලකීමක් සුදු ජාතිකයින් විසින් සිදු නොකළ බවද ඔහුගේ මී මිණිපිරියක් වන සිඩ්නි නුවර වාසය කරන සුනේත්‍රා කරුණාරත්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
එනිසාම ඔහුට එකල සුදු ජාතිකයින් සමග හරි හරියට එකට සිට කටයුතු කිරීමට හැකියාව ලැබුණු බවද ඇය සඳහන් කළාය.
ඔස්ට්‍රේලියාවේ සුදු ජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලයේදී කලු ජාතික මිනිසුන්ට සැලකීමක් හෝ ගෞරව කිරීමක් නොතිබුණු සමයේ පවා ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගෙන් ගෞරවය ලැබූ එකම කලු ජාතිකයා T.B. එළියස් මහතා බවද පැවසේ.

එළියස්ගේ මුතු බෝට්ටුවලට ලංකාවේ ගම්වල නම් දමයි
19 වන සියවසේ අග බාගයේ පටන් මුතු බෙල්ලන් ඇල්ලීම සඳහා භාවිත කළ විශේෂ බෝට්ටු වර්ගයක් ලෙස luggers හැඳින්වේ.
මේවා ඕස්ට්‍රේලියාවට ආවේණික විය.
T.B. එළියස් මහතාගේ මුතු කර්මාන්තය දියුණු වෙත්ම ඔහුට මෙවැනි අන්දමේ luggers කිහිපයක්ම තිබුණු බව කරුණාරත්න මහත්මිය පැවසුවාය.
ඒ සෑම බෝට්ටුවකටම පාහේ ශ්‍රී ලංකාවේ ගම්වල නම් දමා තිබුණු බවද කියවේ.
Ceylon, Galle යන නම් ඒ අතරින් ප්‍රධාන බව කරුණාරත්න මහත්මිය පැවසුවාය.
මීට අමතරව 1902 දී පමණ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Carnarvon මාර්ගයේ T.B. එළියස් මහතා ආභරණ සාප්පුවක් විවෘත කළ බවත් එහි ඉදිරිපස එළියස් මහතා තම මුතු වැඩ කරන මේසය සහ ඊට අදාළ උපකරණ හා මෙවලම් තබා තිබු බවත් ඇය සඳහන් කළාය.

T.B. එළියස්ගේ අතින් නිමවුණු ලෝක ප්‍රකට මුතු නිර්මාණ
T.B. එළියස් මහතා ලොව මිල අධිකම මුතු නිර්මාණ කිහිපයක් සකස් කළ පුද්ගලයා ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.
ඉන් එකක් ලෝක ප්‍රකට "Southern Cross" හෙවත් "දක්ෂිණ කුරුසය" නැමති මුතු නිර්මාණය වේ.
එය 1924 දී ලන්ඩනයේ ප්‍රදර්ශනය කරන ලද අතර එවකට එහි වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 20,000 කට වඩා වැඩි විය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයේ සිටි රෝමානු කතෝලිකයින් විසින් මෙම දක්ෂිණ කුරුසය මිලදීගෙන බ්‍රිතාන්‍යයේ කතෝලික විමුක්තියේ ශතවර්ෂයේ පූජනීය ජුබිලිය සැමරීම සඳහා එකල සිටි පාප් වහන්සේ වෙත මෙය පූජා කරන ලද බවට වාර්තා වේ.
එය දැන් වතිකානුවේ ගෞරවනීය ලෙස ප්‍රදර්ශනය කෙරේ.

T.B. එළියස් මහතාගේ අතින් සකස්වුණු අනෙක් ලෝක ප්‍රකට මුතු නිර්මාණය වන්නේ "Star of West" හෙවත් "බටහිර තරුව" යි.
1916 දී සැකසුණු එය 1919 දී ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය පවුම් 7,000 කට අලෙවි විය.
මීට අමතරව එංගලන්ත රජ පවුලේ උදවියගේ ඇඳුම් ආයිත්තම්වලට සහ රාජකීය ඔටුන්න සැරසීමට ඔස්ට්‍රේලියාවෙන් ගෙන ගිය මුතු බොහොමයක් T.B. එළියස් මහතාගේ අතින් ඔප දැමුණු බව කියවේ.

T.B. එළියස්ගේ අන්තිම කැමැත්ත
මුතු කර්මාන්තයෙන් විශාල ධනපතියෙක් වූ T.B. එළියස් මහතාගේ අවසන් කැමැත්තද පුදුමාකාර එකකි.
ඔහුට සිටියේ පුතුන් දෙදෙනෙක් වන බවත් තමාගේ වත්කම් සහ දේපළ හිමි කරගැනීමට නම් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකික සිංහල කාන්තාවන් විවාහ කරගත යුතු බවත් එළියස් මහතා තම පුතුන් දෙදෙනාට දැනුම් දුන් බව එළියස් මහතාගේ මී මිණිපිරියක් වන සිඩ්නි නුවර වාසය කරන සුනේත්‍රා කරුණාරත්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
"එළියස් මහතාගේ වැඩිමහල් පුතා විලියම් සහ බාල පුතා චාල්ස්. චාල්ස් ශ්‍රී ලාංකික නොවන කාන්තාවක් විවාහ කරගැනීමත් සමග ඔහුට පවුලේ දේපළ උරුමය නොලැබී ගිය අතර ඔහු ඩාර්වින් ප්‍රදේශයට පදිංචියට ගොස් තිබෙනවා. විලියම් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකික සිංහල කාන්තාවක් විවාහ කරගත්තා. විලියම් කියන්නේ මගේ සීයා." යනුවෙන් කරුණාරත්න මහත්මිය තම මී මුත්තාගේ අන්තිම කැමැත්ත පිළිබඳ විස්තර කළාය.

T.B. එළියස් ගැන තොරතුරු සොයන උදවියට
T.B. එළියස් මහතා පිළිබඳ තොරතුරු, ඡායාරූප සහ ඔහුගේ ඇතැම් නිර්මාණ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Broome කෞතුකාගාරයේ අදටත් තිබේ.
ඊට අමතරව ඔහු පිළිබඳ සහ ඔහුගේ තොරතුරු ඇතුළත් නොයෙකුත් ග්‍රන්ථ රචනා වී ඇති බවත් කරුණාරත්න මහත්මිය පැවසුවාය.
Forty Fathoms Deep, General History of Broome වැනි ග්‍රන්ථවලට අමතරව එක්දහස් නවසිය අසූ ගණන්වල ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා වූ වික්‍රම වීරසුරිය මහතා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් පිළිබඳ පර්යේෂණ කරමින් රචිත ග්‍රන්ථයේ ද T.B. එළියස් මහතා පිළිබඳ තොරතුරු අඩංගු බව කරුණාරත්න මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

එළියස්ගේ සිව්වන පරපුර
T.B. එළියස් මහතාගේ වැඩිමහල් පුතා වන විලියම්ට දරුවන් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් එක අයෙක් වන්නේ සුනේත්‍රා කරුණාරත්න මහත්මියගේ මව වන ඊඩිත්ය.
ඊඩිත් මහත්මියට ද දරුවන් 7 ක් සිටි අතර සුනේත්‍රා කරුණාරත්න මහත්මිය ඉන් සයවැන්නාය.
"මම ඔස්ට්‍රේලියාවට පළමු වරට පැමිණියේ 1964 සිට 1966 කාලය දක්වා. ඒ කාලේ අපේ අම්මයි තාත්තයි ලෝකේ පුරා සංචාරය කරමින් හිටියේ. එනිසා අපිට ඉන්න වුණේ ආච්චියි සීයයි එක්ක, ඊට පස්සේ මගේ තාත්තා ලංකාවට යන්න තීරණය කළා. 1966 සිට 1970 දක්වා අපි ලංකාවේ ජීවත් වුණේ. ඊට පස්සේ අයෙමත් 1970 දී අපි පවුලම ඔස්ට්‍රේලියාවට ආවා. 1970 ඉඳන් අද වනතුරු මම පදිංචි වෙලා ඉන්නේ සිඩ්නි නුවර. මම පාසල් අධ්‍යාපනය ඇතුළු සියලු අධ්‍යාපන කටයුතු සිදු කළේ සිඩ්නි නුවර." කරුණාරත්න මහත්මිය එළියස් මහතාට ඇති නෑදෑකම ද කියමින් ඇගේ ඔස්ට්‍රේලියානු ආගමනය විස්තර කළාය.

කරුණාරත්න මහත්මියගේ දෙමාපියන්ට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වූ මුතු සහ ආභරණ ව්‍යාපාරයක් තිබුණු අතර පාසල් නිවාඩු සමයේදී සියලු දරුවන් එහි ගොස් එහි කටයුතුවලට සහය දෙන බවද පැවසුවාය.
පවුලේ ළමයින් හත් දෙනෙකු සිටි නිසා බාල ළමයින් කිහිපදෙනා ආභරණ කර්මාන්තයෙන් ඉවත් වී ඔස්ට්‍රේලියාවේ රැකියාවලට යොමු වුනු බවත් අද වන විට තමා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන බවත් කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
නමුත් ආභරණ කර්මාන්තය තම පවුලේ සෑම දෙනෙකුගේම ලේවල ගැබ්වී ඇති බවද ඇය සඳහන් කළාය.
"20 වන විය පසුවන විට මට මගේ ස්වාමි පුරුෂයා වන කිත්සිරිව මුණ ගැහෙනවා. අපි විවාහ වුණා. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි, පුතයි. දුවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. පුතා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. මගේ පවුලේ උදවිය තවමත් මුතු සහ ආභරණ ව්‍යාපාරයට සම්බන්ධයි. මගේ අක්කගේ පුතා, අජී එළියස් තවමත් ඔස්ට්‍රේලියාවේ විශාල පරිමාණයෙන් සහ උසස් මට්ටමින් Ellies Pearling නමින් මුතු ව්‍යාපාරය කරනවා" කරුණාරත්න මහත්මිය අවසාන වශයෙන් SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.

