
This article is more than 3 years old
Exclusive
රොබෝ "ඔලිම්පික්ස්" දිනන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දුන් ශ්‍රී ලාංකේය විද්‍යාඥයා SBS සිංහල ට කියූ දෑ
තරඟ පිටියේද Bingo ලිස්සලා වැටුණා.Bingo ගැන හොයා බලන්න ගිය Bluey ත් ලිස්සල වැටුණා. ලොකු අභියෝග ගොඩක් මැද තියුණු තරඟයකින් අවසන් තත්පර කීපයෙදි ජයග්‍රහණය කරා යාමට හැකිවූ බව නවින්ද SBS සිංහල ගුවන්විදුලිය සමග පැවසුවා.
රෝබෝ "ඔලිම්පික්ස්" ලෙස හදුන්වන ලොව ප්‍රමුඛතම රොබෝ තාක්ෂණය සම්බන්ධ තරගාවලියෙන් ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වෙනවා.
ඔස්ට්‍රේලියානු ජයග්‍රාහී රොබෝ තාක්ෂණ කණ්ඩායමේ නියමුවා වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ විද්‍යාඥයෙක.්
ඔහු තමයි ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යායතනයේ (CSIRO) රොබෝ විද්‍යාව හා ස්වයංක්‍රීය පද්ධති කණ්ඩායමේ ප්‍රධානී, පර්‍යේෂණ විද්‍යාඥ ,ආචාර්ය නවින්ද කෝට්ටේගේ.
DARPA SubT අභියෝගතා තරඟයෙන් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ජය ගන්නෙ මෙහෙමයි.
DARPA Subterranean Challenge (SubT) ලෙස හැඳින්වන මෙම රොබෝ තාක්ෂණය සම්බන්ධ තරගාවලිය වසර 20ක් පුරා සංවිධානය කරන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක පර්‍යේෂණ ආයතනය (US Defence Advanced Research Projects Agency) විසින්.
ලොවට අන්තර්ජාලය නිර්මාණය කිරීම සිදු කරන්නේ මෙම ආයතනයයි. ඒ වගේම ස්වයංක්‍රීය මෝටර් රථ ලොවට හදුන්වා දීම සිදු වන්නේත් මේ ආයතනය විසින් මීට පෙර පැවැත්වූ DARPA තරගාවලියක ප්‍රතිඵලයක් ලෙසයි.
මෙවර තරගාවලියේ අභියෝගය වූයේ පොළව යට තිබෙන, මිනිසුන්ට යාමට තහනම්, බොහොම දුෂ්කර නොදන්නා පරිසරයක ඇති තරග පථයකට රොබෝ යන්ත්‍ර යවා එහි ඇති තොරතුරු එක් කර නැවත වාර්තා කිරීමයි.
නවින්ද ඇතුළු ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යායතනයේ කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වීමට අයදුම් කර තිබෙනවා.
තරග වැදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ලෝකයෙන්ම තෝරා ගන්නේ කණ්ඩායම් 7ක් පමණයි.ඒ අතරට තේරුණු, ඇමරිකාවේ මව් සමාගමක් නැති එකම කණ්ඩායම තමා පුමුඛ (CSIRO Data61) ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යායතනයේ කණ්ඩායම වූ බව නවින්ද SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
මෙම තරඟයේදී එක් පැයක් ඇතුලත තරග පථයේ ඇති විවිධ වස්තූන් රොබෝ යන්ත්‍ර මගින් හඳුනාගෙන ඒවා ඇති ස්ථාන ගැන තොරතුරු වාර්තා කළ යුතුව තිබුණා.

ආපදාවකට පත් වූ පුද්ගලයන්ගේ ආකෘති, කාබන් ඩයොක්සයිඩ් වැඩි සංයුතියක් ඇති ස්ථාන, වායු විවර( air vents),උඩට නගින කඹ ( climbing ropes),ආරක්ෂක හිස් වසුම් ( helmets), ජංගම දුරකථන, ගිනි නිවන උපකරණ වැනි වස්තූන් මේ අතර තිබුණා.
තරග පථය සදහා වූ පොළොව යට පරිසරය කොටස් තුනකින් සමන්විත වුණා.උමං මාර්ග, භූගත නාගරික හා දුම්රිය මාර්ග , ස්වභාවික ලෙන් යන ඕනෙම පරිසරයකට යා හැකි රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම මෙහිදී අවශ්‍ය වුණා.
කොටස් වශයෙන් වසර තුනක් පුරා මෙම තරගාවලිය පැවති නිසා සෑම අදියරකදීම කුසලතා දක්වමින් ඉදිරියට යාමට සිය කණ්ඩායමට අවශ්‍ය වූ බව නවින්ද SBS සිංහල ගුවන් විදුලි සේවයට කියා සිටියා.
NASA, කැල්ටෙක් විශ්ව විද්‍යාලය, MIT විශ්ව විද්‍යාලය වැනි ලොව ප්‍රබල සහ ප්‍රචලිත කණ්ඩායම් රැසක් පරාද කරමින් සිය කණ්ඩායම අවසන් තරගයෙන් වැඩිම ලකුණු වලට සම මට්ටමට පැමිණ සම ජයග්‍රහණයක් ( Top two) වාර්තා කළ බවත් DARPA robotics challenge එකකදී අවසන් වටයට තේරුණු එකම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය කණ්ඩායම බවත් ඔහු පැවසුවේ ආඩම්බරයෙන්.

DARPA අභියෝගතා තරගයේදී මුහුණ දුන් අභියෝග
මෙවැනි තරගයකදී මෙවැනි පරිසරයකට රොබෝ යන්ත්‍ර යවන විට නැවත එම රොබෝ යන්ත්‍ර සමඟ සන්නිවේදනය කිරීමට හැකි වේ දැයි නොදන්නා නිසා මෙහෙයුම් මැදිරිය සමඟ සන්නිවේදනය කිරීමට නොහැකිි වුණත් අවශ්‍ය මෙහෙයුම කිරීමට හැකිවන පරිදි මෙහිදී විශාල වශයෙන් තාක්ෂණය දියුණු කිරීමට සිදු වී තිබෙනවා.
විවිධ පරිසර තත්වය වල අභියෝග ජය ගැනීමට විවිධ වර්ග වල රොබෝ යන්ත්‍ර හයක කණ්ඩායමක් මෙහිදී යොදා ගෙන තිබෙනවා.ට්‍රැක් රොබෝ යන්ත්‍ර දෙකකින්, කකුල් හතරේ රොබෝ යන්ත්‍ර දෙකකින් සහ ඩ්‍රෝන ආකාරයේ රොබෝ යන්ත්‍ර දෙකකින් මෙම කණ්ඩායම සමන්විත වුණා.
විශාලම අභියෝගය වූයේ 2021 සැප්තැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු තරගාවලියේ අවසාන වටයට කොවිඩ් නීතිරීති වලට අනුව ප්‍රධාන ඉංජිනේරු කණ්ඩායම යැවීමට අවසර නොලැබීමයි.

එහිදී රොබෝ කණ්ඩායම, තරඟයට යැවීමට සිදු වී තිබෙන්නේ සහයක ඉංජිනේරු කණ්ඩායමක් සමගයි.
ඉතාම කෙටි කාලයකදී සහයක ඉංජිනේරු කණ්ඩායමට රොබෝ යන්ත්‍ර භාවිතා කරන ආකාරය ඉගැන්වීමට සිදු වූ අතර ඕස්ට්‍රේලියාවේ සිට දුරස්ථව මෙම රොබෝ යන්ත්‍ර වලට සහය දීමට තම කණ්ඩායමට සිදු වීම මෙම තරගාවලියේ විශාලතම අභියෝගය වූ බව නවින්ද SBS ගුවන් විදුලි සේවයට පැවසුවා.
මෙවන් අභියෝග රැසක් සමග අවසානයේ ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අවසන් තරගයේදී ඔවුන්ගේ මුහුණ දුන් උණුසුම් තියුණු තරගය අමතක නොවන සිදු වීමක් ලෙස නවින්ද විස්තර කළේ මේ ආකාරයටයි.
අවසන් වටයේදී අපේ ට්‍රැක් රොබෝ යන්ත්‍රයක් නිෂ්ක්‍රීය වුණා.ඒකට උමගෙන් එළියට එන්න බැරි වුණා. පළ වෙනි ලෙගට් රොබෝ Bingo ගොඩාක් ඇතුළට ගිහින් එයාගෙ communication link එක නැති වෙලා එයා කකුල ලිස්සල වැටිල තිබුණ.ඒත් එයා ගාව ගොඩක් collect කරපු data තිබුණා. දෙවනි ලෙගඩ් රොබෝ Bluey , Bingo ළගට ගිහින් එයාගෙ data ත් එකතු කරගෙන එද්දි එයත් ලිස්සල වැටුණා.අවසාන විනාඩි කීපයේ අපේ රොබෝ යන්ත්‍ර හයෙන් එකක් විතරයි එහාට මෙහාට යන්න පුළුවන් මට්ටමක හිටියෙ. ඒ රොබෝ යන්ත්‍රය වැටුණු රොබෝ ළගට ගිහින් data එකතු කරල මෙහෙයුම් මැදිරියට දෙනකොට අවසාන තත්පර 25 තමයි clock එකේ තිබුණේ.
නවින්ද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ 2004 වසරේ දී ස්ථිර පදිංචිය සමගින් සිය පශ්චාත් උපාධිය ආරම්භ කරමින්. ඒ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීථයෙන් ඉංජිනේරු භෞතික විද්‍යා විශේෂවේදී උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

සිය දෙනෙක්ගෙන් පමණ සමන්විත ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යායතනයේ රොබෝ තාක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙමින් තමන් තරගාවලියේදී දියුණු කළ රොබෝ තාක්ෂණය වෙනත් ක්ෂේත්‍ර වලට යොදා ගැනීමට හැකි වෙන පරිදි තවදුරටත් දියුණු කිරීමට නවින්ද බලාපොරොත්තු වෙනවා.
පතල් කර්මාන්ත, දිවි ගලවා ගැනීමේ සේවා, ආරක්ෂක කටයුතු, අධිකරණ වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය යන විවිධ ක්ෂේත්‍රයන්ට මෙම දියුණු කරන ලද රොබෝ තාක්ෂණයන් යොදාගත හැකි බව නවින්ද පැවසුව.ා
භූගත පතල් කර්මාන්ත ප්‍රචලිත ඔස්ට්‍රේලියාවට මෙම තරගයෙන් සොයා ගත් රොබෝ තාක්ෂණික යෙදීම් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. එහිදී අනතුරකින් දිවි ගලවා ගැනීමට search and rescue මිනිස් කණ්ඩායම් වෙනුවට රොබෝ කණ්ඩායම් භාවිතා කළ හැකි වන බව ඔහු කියා සිටියා.
මෙම ජයග්‍රහණයෙන් ලද ඇමෙරිකානු ඩොලර් මිලියන එකක ත්‍යාග මුදල ඔවුන් විසින් සඳහා පශ්චාත් උපාධි අරමුදලක් පිහිටුවීමට යොදාගෙන තිබෙනවා.
එම අරමුදලෙන්, කාන්තාවන්ට සහ ප්‍රජාවේ අඩු වශයෙන් නියෝජනය වන්නන්ට බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන්, රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව හිමි වෙනවා.
Share
