Highlights
- පර්යේෂණ ඇරඹීමට හේතු
- Sepsis රෝගය යනු කුමක්ද?
- ඉහල විටමින් C මාත්‍රාවක් ලබාදීම යනු ?
- මෙම විටමින් C සාන්ද්‍රණය ලබාදීම මගින් අතුරු අබාධ ඇතිවිය හැකිද?
- මෙම පර්යේෂණ සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින පිළිගැනීම
- පර්යේෂණ සඳහා ලැබුනු දායකත්වය
- පර්යේෂණයන්හි ඉදිරි පියවර
සමස්ත ලෝකයටම වැඩදායී යමක් සිදු වන බොහොමයක් අවස්ථා වලදී අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ඒ කාර්යය සඳහා ශ්‍රී ලාංකිකයකුගේත් සම්බන්ධතාවයක් පවතින බව.
එවැනි ලෝකයටම වැඩදායී නව පර්යේෂණයක් වගේම නව සොයාගැනීමක් සිදු කල තවත් අපූරු ශ්‍රී ලාංකිකයකු SBS සිංහල සේවයට හමුවුනේ වික්ටෝරියා ප්‍රාන්තයෙන්.
පුද්ගල ශරීරයේ අභ්‍යන්තර අවයව සඳහා හානි සිදු කරන "Sepsis" රෝගය සඳහා විටමින් C ඉහල මාත්‍රාවක් ලබාදීම මගින් එය සුව කිරීම සම්බන්ධයෙන් වන මෙම සොයාගැනීම කල මේ අපූරු ශ්‍රී ලංකිකයා මෙල්බර්න් හි පර්යේෂක, වෛද්‍ය යුගීෂ් ලංකාදේව.

වෛද්‍ය යුගීෂ් ලංකාදේව Florey Institute of Neuroscience and Mental Health හි පර්යේෂක සහ හෘද වාහිනී හා වකුගඩු පර්යේෂණ කණ්ඩායමේ රසායනාගාර ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සිටී.
පර්යේෂණ ඇරඹීමට හේතු
යම් ආසාදනයක් සඳහා පුද්ගල ශරීරය දක්වන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් ශරීරයේ අවයව සඳහා හානි වීමක් සිදු වන Sepsis රෝගය සම්බන්ධයෙන් වන පර්යේෂණයන්හි ආරම්භය සම්බන්ධයෙන් වෛද්‍ය යුගීෂ් ලංකාදේව මුලින්ම SBS සිංහල සේවයට අදහස් දැක්වීම සිදු කළා.
ඔහු සඳහන් කොට සිටින්නේ මේ Sepsis යන රෝගය හේතුවෙන් ලොව පුරාම මෙන්ම විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුලත් දැඩි සත්කාරක ඒකක සඳහා යොමු කෙරෙන රෝගීන් අධික ලෙස මියයාම සිදු වන බවයි.
සෑම වසරක් තුලදීම මෙම රෝගය වැළඳීම හේතුවෙන් රෝගීන් මිලියන 10කට වඩා වැඩි පිරිසක් ලොව පුරා ජීවිතක්ෂයට පත්වන බවත් මේ සඳහා මේ වනතෙක් නිසි ප්‍රතිකාරයක් හෝ ඖෂධයක් නොමැති අතර මේ රෝගය වැළඳීම සඳහා හේතුන් දෙකක් බලපාන බවත් වෛද්‍ය යුගීෂ් පෙන්වා දෙනවා.
මේ වනවිට පවතින දියුණු කල ඖෂධ හේතුවෙන් පුද්ගලයින් වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාවක් පැවතුනත් ක්‍රමයෙන් වයස්ගත වීමේදී පුද්ගල ප්‍රතිශක්තීකරණය අඩු වීම මත Sepsis රෝගය වැළඳීම සිදු වේ.
මේ වනවිට බහුලව පුද්ගලයින් Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ වැඩි වශයෙන් ලබාගැනීම මත ඒ සඳහා ශරීරය ප්‍රතිරෝධයක් දැක්වීම.

මෙම කරුණු හේතුවෙන් මෙම පර්යේෂණ ආරම්භ වූ බව වෛද්‍ය යුගීෂ් පවසයි.
මේ සඳහා ඔහුගේ සම්බන්ධ වීම පිළිබඳව වෛද්‍ය යුගීෂ් සඳහන් කොට සිටියේ ඔහු රුධිර වාහිනී වල පවතින දුර්වලතා සහ වකුගඩු සම්බන්ධයෙන් ඇතිවන දුර්වලතා පිළිබඳව සිය ආචාර්ය උපධියේදී විශේෂීකරණයක් දැක්වූ අතර එම ඉගෙනීම ඔස්සේ Florey Institute of Neuroscience and Mental Health පර්යේෂණ ආයතනය සමග සම්බන්ධ වූ බවයි.
මෙලෙස සම්බන්ධ වීමෙන් අනතුරුව 2013 වසරේ සිට මෙම Sepsis රෝගය සඳහා පර්යේෂණ සිදු කල අතර 2020 වසරේදී මේ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිපල අත්කරගැනීමට හැකි වූ බවත් ඔහු පවසයි.
Sepsis රෝගය යනු
පුද්ගල ශරීරයේ ලේ ගමනාගමනයට බැක්ටීරියාවක් , දිලීරයක් හෝ වෛරසයක් ඇතුළු වූ විට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ශරීර ප්‍රතිෂක්තීකරණයක් නිපදවීම සිදුකරයි. නමුත් යම් හෙයකින් හෝ එම ප්‍රතිචාර දැක්වීම සාර්ථක නොවූ විට එම බැක්ටීරියාව, දිලීරය හෝ වෛරසය පුද්ගල ශරීරය පුරා ව්‍යාප්ත වීම සිදු වේ.
මේ ඔස්සේ පුද්ගල ශරීරයේ අත්‍යවශ්‍ය අභ්‍යන්තර අවයව වන වකුගඩු, පෙනහැලි, රුධිර වාහිනී, හෘදය සහ මොළය වැනි කොටස් දුර්වල කිරීම සිදු වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙහිදී ප්‍රතිශක්තිකරණය අඩු තත්වයක් පවතින කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීමේ දැඩි අවදානමක් මතු වේ. එමෙන්ම ඉහල රුධිර පීඩනය, දියවැඩියාව සහ පිළිකා වැනි රෝග පවතින රෝගීන් හටද අඩු ප්‍රතිෂක්තීකරණයක් පැවතීම මත මෙම Sepsis රෝගයෙන් දැඩි අවදානමක් පවතී.
ඉහල විටමින් C මාත්‍රාවක් ලබාදීම යනු සහ එක් පුද්ගලයකුට ලබාදෙන මාත්‍රාව
රසායන විද්‍යාත්මකව බලන කල මෙය සෘජු ලෙසම විටමින් C රෝගීන්ට ලබාදීමක් නොවන අතර මෙය "Sodium ascorbate" යන නමින් හැඳින්වෙන ආම්ලිකතාවයක් නොමැති සාන්ද්‍රනයකි.
මෙමගින් විටමින් C ලබාදීමෙන් පුද්ගල රුධිරයේ ඇතිවිය හැකි අධික ආම්ලිකතාවය මගහැරීම සිදුවේ.
සාමාන්‍ය ලෙස ගත් කල දොඩම් ගෙඩි 2,200ක පමණ අඩංගු වන විටමින් C එක් රෝගියකු හට පැය 7ක් වැනි කාලයක් ඇතුලත ලබාදීම සිදු වේ.
මෙම සාන්ද්‍රණය ලබාදීම මගින් අතුරු අබාධ ඇතිවිය හැකිද?
සාමාන්‍ය විටමින් C වල අඩංගු ඉහල ආම්ලිකතාවය මෙම Sodium ascorbate සාන්ද්‍රණය තුල නොපැවතීම මත, රෝගීන්ගේ රුධිරයට එක් විය හැකි අධික ආම්ලික රසායන ද්‍රව්‍ය අවම වීම සිදු වන බව වෛද්‍ය යුගීෂ් පවසයි.
නමුත් ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට සිදු කෙරෙන පරීක්ෂණ මගින් රුධිරයට එක්වන සෝඩියම් ප්‍රමාණය යම් ඉහල අගයක් ගන්නා බවට හඳුනාගෙන ඇති බවයි.
දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිරයේ පවතින sodium ප්‍රතිශතය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරයි. මේ හේතුවෙන් මෙම ඉහල විටමින් C මාත්‍රා ලබාදීම මේ වනවිට එම රෝගීන් සඳහා පමණක් නිර්දේශ කොට තිබේ.
ඕස්ට්‍රේලියාවේ COVID-19 අසාදිතයකු සඳහා ඉහල විටමින් C මාත්‍රාවක් ලබාදීමෙන් අත් කරගත් ප්‍රතිපල
මෙල්බර්න් හි ඖෂධවේදියකු වූ මෙම COVID-19 අසාදිත පුද්ගලයා හට, මෙම Sepsis රෝගය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කල පරීක්ෂණ වල සාර්ථක ප්‍රතිපල අනුව ඉහල විටමින් C ලබාදීම සඳහා වෛද්‍ය යුගීෂ් ඇතුළු කණ්ඩායමට අවසර හිමිව තිබේ.
මෙම COVID-19 ආසාදිත පුද්ගලයා හට දැඩි සත්කාර ඒකකය තුල ලබා දුන් කිසිදු ප්‍රතිකාරයක් මගින් සුව වීමක් දක්නට නොලැබි අතර මීළඟ පියවර වශයෙන් මෙම ඉහල Sodium ascorbate මාත්‍රා ලබාදීම සඳහා කටයුතු කෙරුණු බව වෛද්‍ය යුගීෂ් පවසයි.

මෙම ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවේදී ඉතාම අසාධ්‍ය තත්වයේ සිටි රෝගියා පැය 7ක් වැනි කාලයක් තුල නැවත ප්‍රකෘති තත්වයට පැමිණීමක් දක්නට ලැබුණු අතර ඔහුගේ පෙනහළු, වකුගඩු සහ රුධිර වාහිනී ආශ්‍රිතව පැවති දුර්වලතාද මගහැරුණු බවට එහිදී හඳුනාගෙන තිබේ.
ඉන් අනතුරුව දින 10ක කාලයකින් පසු එම රෝගියා Ventilator යන්ත්‍ර මගින් ඉවත් කිරීමටත් ප්‍රතිකාර ලබාදීමෙන් දින 20ක කාලයකට පසු රෝගියා රෝහලෙන් පිටත් කිරීමටත් හැකි ව තිබේ.
මෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් දැඩි සතුටට පත්වූ බව SBS සිංහල සේවයට අදහස් දක්වමින් වෛද්‍ය යුගීෂ් ලංකාදේව පැවසුවේ මෙම පර්යේෂණ මගින් Sepsis රෝගය සඳහා පමණක් නොව COVID-19 වෛරසය වැළඳුනු අසාධ්‍ය රෝගීන් සඳහාත් සාර්ථක ප්‍රතිපල අත්කර දෙන බව මෙමගින් පෙන්වූ බවයි.
මෙම පර්යේෂණ සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින පිළිගැනීම
මෙම පර්යේෂණ වල ප්‍රතිපල සහ COVID-19 අසාදිත පුද්ගලයකු හට ඉහල විටමින් C මාත්‍රාවක් ලබාදීම මගින් අත්කරගත් සාර්ථක ප්‍රතිපල අනුව මේ වනවිට මේ සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් සිදු කිරීමට "ඕස්ට්‍රේලියානු මානව පර්යේෂණ ආචාර ධර්ම කමිටුව" අවසර ලබාදී තිබේ.

ඒ අනුව මේ වනවිට රෝහල් 4ක දැඩි සත්කාර ඒකකයන්හි වැඩිහිටි රෝගීන් සඳහා එම සායනික අත්හදා බැලීම් සිදු කෙරෙන අතර ක්වීන්ස්ලත ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකකයන්හි සිටින ළමුන් සඳහා සායනික අත්හදා බැලීම් සිදු කිරීමටද අනුමැතිය හිමිව තිබේ.
පර්යේෂණ සඳහා ලැබුනු දායකත්වය
මෙම පර්යේෂණ සඳහා තමාට පුද්ගලයින් දෙදෙනෙක් ප්‍රමුඛ සහායක් ලබා දුන් අතර ඒ Florey Institute හි මහාචාර්ය Clive May සහ Austin රෝහලේ මහාචාර්ය Rinaldo Bellomo බව වෛද්‍ය යුගීෂ් පෙන්වා දෙයි.
එමෙන්ම මෙම පර්යේෂණ සඳහා National Heart Foundation of Australia සහ National Health and Medical Research Council යන ආයතන මෙම පර්යේෂණ සඳහා ජාතික අරමුදල් සැපයීම සිදු කොට තිබේ.
මෙම පර්යේෂණයන්හි ඉදිරි පියවර
මෙම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමය සඳහා මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පිලිගැනීමක් පවතින අතර ගෝලීය වශයෙන් පිළිගැනීමක් සඳහා මෙහි තවත් අදියර දෙකක් පවතින බව වෛද්‍ය යුගීෂ් පවසයි.
ඔස්ට්‍රේලියාවේ රෝහල් තුල මේ වනවිට ආරම්භ වී ඇති "සායනික අත්හදා බැලීම්" මගින් සාර්ථක ප්‍රතිපල ලැබීම
සතුන් යොදාගනිමින් සිදු කරන පරීක්ෂණ ඔස්සේ විටමින් C ඉහල මාත්‍රාවක් ලබාදීම මගින් සිදු වන "යාන්ත්‍රණය" පිළිබඳව නිශ්චිත තොරතුරු ලබාගැනීම
කෙසේ නමුත් මෙම අදියර දෙක සාර්ථක කරගැනීමෙන් අනතුරුව Sepsis සහ COVID-19 වැළඳීමෙන් අසාධ්‍ය තත්වයේ පසුවන සහ සාර්ථක පිළියම් නොමැති පිරිසට ප්‍රතිකාර ලබාදීමට හැකි වන බව වෛද්‍ය යුගීෂ් ලංකාදේව අවසාන වශයෙන් SBS සිංහල සේවයට පැවසීය.
ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහලවෙබ්අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙනසජීවීව SBS සිංහලවැඩසටහනසහඅපගේඅනෙකුත් podcast වලටසවන්දෙන්න.

